Thursday, February 19, 2015

පොතේ දසාව නරක්වූ හැටි

වනකතාව තහනම් වීමේ හේතුව

මේ ලිපිය පොත පිච්චුව කවියක් , ලියන බසේ පෙරළිය  සහ  බලෙන් පැට වූ උපදේශය ට පසුව ලියවෙන  ලිපිය බව සලකන්න. හොඳින් තේරුම් ගැනීම පිණිස එම ලිපි තුන පලමුව කියවීම වඩා ප්‍රයෝජනවත් වෙයි. 


පඤ්චතන්ත්‍රයේ එක්තරා  ශ්ලෝකයක් නොතිබුණා නම් යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතාව පොතටත්,  එවක පැවති  ජ්‍යෙෂ්ඨ විභාගයට එය සුදුසු යයි අනුමත කළ කමිටුවටත් යහතින් ඉන්නට හැකිව තිබිණි.
එකල මෙකල මෙන් පාසල් සඳහා පොත් ලියන මණ්ඩලයක් නොවීය. ඒ වෙනුවට  විවිධ ලේඛකයන් හා විද්වතුන් විසින් ලියනු ලබන පොත් අතරින් පාසලට සුදුසු පෙළ පොත් මොනවාදැයි සොයා බලා
අනුමත කරන පිළිගත් විද්වතුන්ගෙන් සැදි කමිටු පිහිටුවා තිබූ බව පෙනේ. මේ අවදියේ සිංහල භාෂාව සඳහා වූ  කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය (සිංහල පිළිබඳ මහාචාර්ය) මහාචාර්ය ගුණපාල මලලසේකර(එවකට පාලි මහාචාර්ය) සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුර ලබා සිටි ඊ.ආර්. එරත්න මහතා යන අය වෙති.


ඔවහු වනතකතා පොත ජ්‍යෙෂ්ඨ විභාගයට සුදුසු බවට ඒකමතිකව සම්මත
කර ඇත. මේ ඒ සමගම ඇති වූ තත්වය යක්කඩුවේ හිමියන් පෙන්වන්නේ පහත උපුටනයේ දැක්වෙන ආකාරයෙනි.
“........එපමණකි.දසාව නරක්විය. විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්මට කැමැත්තක් නැතුව සිටි ඇමැත්තන්ලා, මහ ඇමැත්තයාගේ ද නියමයෙන්
ඔවුන්ගේ ඇබිත්තයන්ද සහාය කරගනෙ, වනකතාවේ අකුරක් තියා, එහි යොදා තිබුණු ඉරක්වත් තේරුම්ගත නොහැකි ඩිරැක්ටර් තුමාගේ මාර්ගයෙන් එය තහනම් කළහ“.[1]

මහ ඇමතිතුමා අපහසුවට පත්වන බව නිගමනයක් ගෙන මේ පොතේ තහනමට හේතුව වී ඇත්තේ පහතින් දක්වා ඇති ශ්ලෝකයේ පරිවර්තනයයි. ඒ මෙසේය.

නරකාය මතිස්තේ චෙත් පෞරොහිත්‍යං සමාචර
වර්ෂං යාවත් කිමන්‍යෙන මඨචින්තාං දිනත්‍රයම් [2]

යන්නය. එය පඤ්චතන්ත්‍රයේ එන ශ්ලෝකයකි. එය එලෙසම කවියක් බවට පත්කරන විට පහත ආකාර ගන්නා බව හිමියෝ පවසති.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් පුරෝහිත කම අවුරුද්දක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[3]

පඤ්චතන්ත්‍රය වර්තමානයේ ලියවුනක් නොවන බැවින්  ඒ අදහස පරණ එකක් බව ද, තමන් අතින් සිදුවී ඇත්තේ එය කාලයට ගැලපෙන අයුරින් සකස් කිරීම බව ද, තහනම් කරන්නේ නම් මුලින්ම තහනම් කළයුත්තේ පචතන්ත්‍රය බව ද, යනුවෙන් පරීක්ෂණ යේ දී එරත්න මහතාගෙන්  විමසන විට පවසන ලෙස යක්කඩුවේ හිමියන් ඒ මහතාට උපදෙස් දුන් බවද හිමිපාණෝ පවසති. එම කවිය වනකතාවේ දක්වා ඇත්තේ මෙසේය.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් මහ ඇමතිකම එක දවසක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[4]

පැවැත් වූ පරීක්ෂණයෙන් එරත්න මහතා අසමත්විය. මහාචාර්ය දෙපොළ නිදහස් ආයතනයකට අයත් බැවින් පරීක්ෂණයකට ලක්නොවූ බව හිමිපාණෝ පවසති.
එරත්න මහතා අනුරාධපුරය මධ්‍යමහා විද්‍යාලයට මාරු කර යවා වනකතා පොත ද තහනම් කෘතියක් බවට පත්ව එතෙක් පළවී ඇති පිටපත්  එකතු කර ගිනිතැබූ බව ද ප්‍රකටය.

යක්කඩුවේ හාමුදුරුවන් මෙය පවසන්නෙ පහත උපුටනය පරිදි  දැඩි උපහාසාත්මක වැකිවලිනි.

“ඒ මහතා( ඊ.ආර්. එරත්න මහතා) ලවා අටමස්ථානය වන්දවා තමන්ට ස්වර්ග උප්පත්තිය අත්කරවා ගන්නට දෝ අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට මාරු කළේය..........වනකතාවත් තහනම්විය. දෙවෙනි පොතේ තිබුණ ඒ කවිය නිසා පළවෙනි පොතත් වනකතා නමමත් තහනම් විය................ සපයාගත හැකිව තිබුණු සියලු පොත් රැස්කරවා ගිනිබත්ද කළහ.“[5]

මේ පොත හඳුන්වමින් ලියාගෙන යාම  මෙතෙකින් නිමවේ.  රු300 කට මිල නියම කර ඇති මෙය දැන් පොත්සාප්පු වලින් ලබාගත හැකිව පවතී.




[1] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව-යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[2] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[3] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[4] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xvii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[5] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010

Tuesday, February 17, 2015

බලෙන් පැට වූ උපදේශය

සිද්ද වෙන සේවයක් නෑ.

සිංහලෙන් බ්ලොග් ලියන එවුවන්ගෙන් සිද්ද වෙන මහ ලොකු සේවයක් නෑ.  හැම එකේම ව‍ගේ අපේ සිංහල භාෂාව මරණවා. අක්ෂර වින්‍යාසය විතරක් නෙමෙයි. වචනත් විකෘති කරනවා. ලියන්නෙ "ගමේ ‍ ගොඩේ, පේමන්ට් එකේ කතාකරන" භාෂාව.   ඒව නොකියවන එක හොඳයි තේරුනා නේද ?”. මගේ උපදේශකයා  අවධාරණය කළේ භාෂාවට සිදුවෙන හානිය ගැනයමං වගේ ඇටිකිච්චන් කෙල්ලෙක් මොනව 
කරන්න ද ! බලෙන් පැටවූ උපදේශය ගැන මට තිබු‍ණෙ  විශාල සැකයක්. ඒක නැතිවුනේම නෑ.
මම කියන දේ අනෙකාට තේරෙනව නං ඊට වඩා තියන ව්‍යාකරණය මොකද්ද ! ලියන්න විතරක් පොදුවේ පාවිච්චි වෙන්නැති නැති භාෂාවක් යොදාගන්නෙ ඇයි ? ඔය මට තිබ්බ ගැටළුව. මම පණ්ඩිතයෙක් නෙමෙයි හින්ද ඒ බුම්මගෙන ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඔය අතරෙදි තමයි ආතගෙන් අමුතු පොතක් ලැබුණෙ. ඒ වනකතාව. ඒක කියවද්දි තමයි  යක්කඩුවෙ ප්‍රඥාරාම නම් වූ මහ වියතා හමු වුනේ.  මොනතරම් වාසනවක්ද ?  
පණ ඇති හෙවත් ජීව භාෂාව ගැන වනකතා ගැන කතායනුවෙන් ලියන හැඳින්වීමෙදි කදිම විස්තර තියනවා. ඒ අතරින්  උපුටාගත් කොටස් කීපයකි මේ. (ලිපිය දිග වැඩිවීම වලක්වා ගන්නයි මේ විදිහට කෑලි කෑලි ගත්තෙ).
“............... අමුතු මෝස්තරයක, අලුත් තාලයක පොතකි. පොත ලිවීමේ දි මා තුළ බලපැවැත් වූ ප්‍රධානම ප්‍රතිපත්තිය නම්: සිංහල භාසාවෙන් ලියන මේ පොත, සිංහල රටේ සිංහල මිනිසුන්ට සිංහල පොතක් කියවන්නට පුළුවන් කාටවුවත් කරුණු කොයිතරම් ගැඹුරු වුවද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි............‘ශක්ති‘ ,‘ආශා‘ යන සංස්කෘත වචන දෙක වෙනුවට සිංහල උගතුන් ලියමනේදි පාවිච්චි කරන්නේ ‘ශක්තිය‘, ‘ආශාව‘ යන වචන දෙකයි. ........ඕනෑම සිංහලයකුගේ උසස්ම පණ්ඩිතයකුගේ වුවත්, සිංහල කටකින් නම් මේ වචන දෙක පිටවන්නේ ‘සක්තිය‘  ‘ආසාව‘ යනාදී තාලව්‍ය නොවන ස්වරූපයකිනි. එසේ නම් ලිවීමටත් ඒ සිංහල විලාසයක්ම පාවිච්චි කළොත් කවර වරදක්, කවර අපරාදයක් සිදුවිය හැකිද?............... සිංහල භාසාව පාළි, සංස්කෘත ආදී භාසා මෙන් මළ භාසාවක් ග්‍රන්ථ භාසාවක් නොව, හින්දි ආදී භාසා මෙන් ජීව භාසාවක් ව්‍යවහාර කරන භාසාවක් බව කවුරුත් එක සේම පිළිගනිති. නමුත් අනේ අපොයි අපේ කරුමයක හැටි ! කාගේ කවර වරදක්ද? ! මොන පවක්ද ! කවර කරුමයක්ද! අපේ භාසාව නමින් කෙසෙ වෙතත් ඇත්ත වසයෙන් නම් මැරිලාය. ‘ජීව භාසාවකැ‘ යි කියමනට කියතත්, නිකමට නම්බුවට පිළිගනිතත්, ඒක නම් ජීව භාසාවක් නොවෙයි. මළ භාසාවකි. ජීව භාසාවක් නම් එහි ජීවයක් තිබිය යුතු නේද!
.................. කරුණාකර ටිකක් සිහිය මෙහෙයා බැලිය යුතුයි. අද ලියන සිංහල පොතකත්, එදා අර, පරණ දඹදෙනි අවදියේ දී ලියන ලද සිංහල පොතකත්, භාසාව අතින් ඇති වෙනස කුමක්ද? හැබැයි කතා කරන භාසාවේ නම් වෙනස් වීම, වැඩීම, දියුණව,ප්‍රාණවත් ගතිය පැහැදිලිවම පෙනෙන්ට තිබේ. ............අපේ උසස් උගත් පන්තියේ පණ්ඩිතයන්ගේ පිළිගැනීම “ඒක නිකම්ම නිකම් ගම්මැදි බාසාවක්“ කියාය. නියම සිංහල භාසාවට පොතපතකට තබා කබල් ලියුම් කැබැල්ලකටවත් කිට්ටු වේගන්ට අවසරයක් ලැබී තිබේද !
................අනේ දෙවියනි, මට තියා මගේ ගුරුන්නාන්සේටවත් නෙතේරෙන සිංහලයකුත් අපේ ඇතැම් සිංහල උගතුන් අතර භාවිත වෙයි........ග්‍රන්ථ භාසාවය, කාවිය භාසාවය, ව්‍යවහාර භාසාවය,නෙතේරෙන භාසාවය, යනාදීන් එකම භාසාවක් පිළිබදව නොයෙකුත් භෙද පැවතීම.......... භාසාවේ වැඩීමට දියුන්වට බාධාවක් බව නොකියාම බැරිය.
.............. අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකමං කතා කිරීමේ දී පවා ‘මම යනවා‘, ‘අපි යනවා‘ නොකියා ‘මා යනවා‘ , ‘අපයනවා‘ කියමින් තමන් කතා බහෙනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. .....ඉබේම කියවුනු ‘අපි‘ යන්න නැවත සකස් කොට ‘අප යනවා‘ කියමින් හොඳම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතාම ප්‍රකටය:, මට ද දැක පුරුදය.

.............නානා ව්‍යවහාර භාසාවලින්  විසාල ප්‍රචාරයක් ඇති ප්‍රධානම භාසාවක් නම් ඉංගිරිසියයි. ඉංගිරිසි මිනිස්සු මොනම නිථියකටවත්, මොනම ව්‍යාකරණයකටවත් නැති තමන්ගේ ඒ ගම්මැදි භාසාව ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගෙන...........ලියනවාද පමණක් නොව කථාද පවත්වති..... ‘අයි ගෝ , ‘යූ ගෝ‘  මේ හොඳම ව්‍යාකරණානුකූල ඉංගිරිසිය..... මෙහි ඇති ව්‍යාකරණය කුමක්ද! මෙහි ඇති භාසා රීතිය කුමක්ද! ‘ව්‍යාකරණානුකූලය‘ යි පිළිගැනීම පමණක් නොවේද! ............බැරිකම නිසා හම පමණක් ඉතිරි කරගෙන, හැකි හැම එකකින්ම ඉංගිරිසිය පස්සේම එලවන්ට දඟලන අපේ උගත් සිහංලයන් භාසාව ගැන පමණක් ඒ පස්සේ යන්ට කල්පනා නොකිරීම ඇයි දෙයියනේ! කොයිතරම් කරුමක්කාර කාලකන්නි කමක්ද!
“….පොහොසතා පමණක් නොවෙයි:, කොහොම දේකින් හෝ ඉහල අඩියකට ගිය කොයි සතාත් පාහෙ තරමකටවත් මහසතා වූ හැටියේම, පත පතා ඉන්නේ තමාගේ අගේ වැඩි කර ගැනුම පිණිස, ලොකු කම ආරක්සා කරගැනුම පිණිස අනික් අය සුළු තත්වයේ ම නවතා ගැනිම ගැනය.
-වනකතා පොතේ වනකතා ගැන කතා නම් ඡේදයේ  iv සිට x දක්වා පිටුවලින් උපුටාගන්නා ලදී

මෙහි මුල ඡේදයේ සටහන් කරන ලද පරිදි  එදා උපදේසකයා ඉදිරියේ බුම්මාගෙන වේදනා  විඳින්ට සිදු වූ හේතුව  මේ අන්තිමට උපුටා දැක් වූ කොටසේ යක්කඩුවේ හාමුදුරුවන් පවසන  බව මට ද සිතෙයි.  

Saturday, February 14, 2015

ලියන බසේ පෙරළිය

යක්කඩුවේ හාමුදුරුවෝ 

මේ මහා වියතාණන් වහන්සේ හඳුන්වා දීමට තරම් මා සතු  සුදුසු කම් ප්‍රමාණවත් යයි මට නොසිතේ. ආතා සිය පොත් එකතුවෙන් මට ලබා දුන්  පොත කඩමාල්ලක් බවට පත්ව තිබිණි. වනකතා කෘතිය කෙතරම් අගනේද යන්න වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය. පසුව පොත්
සාප්පු පීරා යමින් මේ පොත නැවත කෙසේ හෝ පළවී ඇද්දැයි සෙවීමි.
එහි යක්කඩුවේ හාමුදුරුවන් හඳුන්වා දෙන මහ වියතුන් මුණ ගැසිණි.
 මේ උපුටනයන් දෙස අවධානය දෙන්න.
“......අපේ යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙබඳු හාමුදුරු නමක්දැයි අලුත් වනකතා පාඨකයන්ට හඳුන්වා දීමට මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන් වහන්සේ ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වමි.
ඉන්දියාවේ ජනාධිපතිව සිටි ආචාර්ය සර්ව පල්ලි රාධ ක්‍රිෂ්ණන් දාර්ශනිකයා රාහුල හිමියන් යක්කඩුවේ හාමාදුරුවන් ගේ කාමරයට කැවාගෙන ගොස් උන්වහන්සේ හඳුන්වා දී “ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් පිරිවෙනේ මේ සියලු ම කටයුතු වල මූලිකයා මුන් වහන්සේ ය” යි කී විට රාධා ක්‍රිෂ්ණන් තුමා “අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ලයි” කියා උන්වහන්සේට නැවත වරක් නමස්කාර කළේය.” මෙසේ පවසන වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණෝ විශිෂ්ට පුවත් පත් කලාවේදී ඩී. බී. ධනපාල ශූරීන් විසින් හිමියන් ගැන ලියන ලද ලිපියක් හකුලවා දක්වන මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන් එහි අන්තර්ගතය පහත සඳහන් ලෙස සම්පිණ්ඩනය කරන බව පෙන්වා දෙති  .
“උන්වහන්සේ මනෝදර්ශනයේ නිර්භයතාව,අධිෂ්ඨානයේ ස්ථිරත්වය,පාණ්ඩිත්‍යයේ අමිතත්වය,හිතේ විස්තාරය,හෘදයේ කාරුණ්‍යය යන මේ ගුණයන්ගේ උදාර මහිමය සාමාන්‍ය නරයන් මවිත කරවයි” (වනකතා 2010 මුද්‍රණයේ iවන පිටුව)

වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ 2010 මුද්‍රණය තුළ මෙසේ ද සටහන් කරති. “අපේ යක්කඩුවේ නායක හාමදුරුවන් වහන්සේ ගේ මුල්ම පොත වනකතාව යි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරු කම් වලින් ගොඩගැනීමට උපකාර වුනේත් මේ වනකතාවයි. වරක් රාජ උදහසට ලක්වුනේත්, තවත් වරක් රාජප්‍රසාදයට ලක්වුනේත් මේ වන කතාවයි. ලියන භාෂාවේත්, කියන භාෂාවේත් පරතරය නැත් කළේත් වනකතාවයි.”
 මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමිපාණන් වහන්සේ විසින් ලියනු ලබන පසු සටහනේ “..........මහජනයාට තේරෙන බසින් පොත් ලිවිය යුතු යයි මෙහි කලක සිට උද්ඝෝෂණයක් පවතී.....ඒ සඳහා අතිශයෙන් යෝග්‍ය මග සොයා ගැනීමෙන් මුල පිරුවේ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිර තුමායයි. කිය යුතුය. මේ පොත් පෙළේ තවත් පොත් අනාගතයේ පළ වන බැවින් මෙය “සාමාන්‍ය මහජනතාවට ලැබුණ සම්පතකැ”යි කිය යුතුය.


මේ පොත මෙතරම් තදින් මා සිත පැහැර ගත්තේ ඇයි ? බ්ලොග් සටහන් කියවන අය  හා ලියන අය ගැන ඇතැම් වියතකු මට දුන් උපදේශයක් නිසා ඇති වූ අධික සිත් පෑරිමෙකිනි. ඉතිරිය මී ළඟ ලිපියට තබමි.

Thursday, February 12, 2015

පොත පිච්චුව කවියක්

ආතා ‍කිව්ව කවිය

මට කොච්චර වාසනාවක්ද ආතා  ඉන්න එක. ආතා හිටපු ගමන් සංස්කෘත ශ්ලෝක හෙමත් කියනවා. හැබැයි ඉතින් පොඩ්ඩ බැරි උනාම බනිනවා. බනින්නෙම අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න ඒව මතක් කර කර. ඕන් ආත මේ පාර කිව්ව කවියක් !

“අපායට  යන්ට ඕනෑ නම් නුඹ                 ට
කරපන් මහ ඇමතිකම එක දවසක           ට
නැත්නම් පන්සලක දේවාලයක සි           ට
අදිපතිකම කරපන් එක දවසක                 ට”

“උඹ දන්නවද කෙල්ලෙ යක්කඩුවෙ හාමුදුරුවො ගැන. උන්නාන්සෙගෙ 
පොත් කියෝල තියනවද ?”
ආතාට පරදින්න මටත් බෑ නේ. “ඔව් මම අහලා තියනව. පොත් කියෝල නං නෑ.”  ආතා පුපුරන්නට විය. “කෙල්ල ආපුගමන් ඒකිව කන්න හදනවා. උඹටත් තාත්තගෙන් බැනුං අහ අහ එතනම දැවටෙන්න ඕනි. දරුවො ඉගෙන ගන්නෙ දැං අලුත් දේවල්. හනමිටි කාලෙ ඒව වගේ නෙමයි” අම්මා මාව බේරගන්නට ඉදිරිපත්වෙයි. 
ආතා නිහඬව නැගිට ගියා. ආතගෙ වටිනාකම මේ ගොල්ලට තේරෙන්නෙ නෑ. මටනං මගෙ ආත මහාචාර්යවරයෙක්.
 “අනේ මගෙ හො ආතා වගේ කියන්න ආපු දේවල් කියන්න. අම්මල කියන ඒව ගණං ගන්න එපා” ආතා නිහව බොහොම පරෙස්සමින් රැක ගන්න “අල්මාරිය” ඇරිය.  
දුංකල මිටියක් වගේ තිබ්බ පුරාණ පොතක් අරන්  දුන්නා. “ඔන්න පොතක් හැබැයි පරෙස්සමින් කියවන්නෙ නැත්තං දැම්මම ආපහු දියං” ආතා මෙච්චර පරෙස්මින් තියාගත්තු පොතක් නොකියව කොහොම ද? යක්කඩු‍වෙ හාමුදුරුවන්ගෙ “වනකතා“. ගත්තු ගමන් කියවන්න උනේ හරිම ආසාවෙන්. ආතා මද සිනාවෙන් යුතුව මා දෙස බලා හිඳී.
ඇයි දෙයියනේ ඇයි ආතෙ  උසස්පෙළ කරද්දිවත් මේ පොත්  නුදුන්නෙ ? මා ඇසුවේ වේදනාවෙන්
මයෙ රත්තරං පුතේ උඹට තමයි මේව පරෙස්සමින් තියා තිව්වෙ. මං දෙන පොත් කියවන්න වෙලා  බැරිවෙලාවත්  ඔය තරගෙට කොරන විබාගෙ පේල් උනොත්, උඹේ මහ එවුවංගෙ මට විසුමක් වෙන එකක් නෑ. දැං ඉතින් කියවපන් මයෙ පුතා කියවල හැදියං”

ආත ඉගෙන ගන්න කාලෙ මේ කවිය පුදුම පෙරළිය ක් කළ එකක් ! උනාලු. මහ ඇමතිට අපහාස වෙන නිසා  පොත අනුමත කරපු කොමිටියත් අවලංගු කරල  පොතත් තහනම් කරල හැම පොතක්ම  පුච්චල දැම්මලු. ආත කිව්ව මේ පුවත ඊටත් වඩා රසවත් විදිහට පස්සෙ අච්චුගහපු පොතේ යක්කඩුවෙ හාමුදුරුවො විස්තර කරනව. ඒ විස්තර මී ළඟ ලිපියෙ කියන්නම්.  
මේ පොත අලුතෙන් අච්චුගහල තියනව. මෙහි මහ ඇමති කියන්නෙ එකල ආණ්ඩුවේ සිටි ඇමතිවරුන්ට යක්කඩුවෙ හාමදුරුවන්ගෙ කාලෙ පළාත් මහ ඇමතිවරු ඉඳල නෑ.
ආත කියන්නෙ “යක්කඩුවෙ හාමුදුරුවො දැං නැති හන්ද හොඳ ලූ“. හිටිය නං දැන් ඉන්න අය දැකල උන්නාන්සෙ පොත් ලියන එක පැත්තක තියල බෙල්ලෙ වැල දාගනී ලු.
වටිනා "මහත්මා දේශපාලයක්" කළ බව කියවෙන ඒ කාලෙත්  එහෙම පෙනුන නං  දැන් ඉන්න අය ගැන කියනුම කවරේද ?
“යහ පාලනය අනේ මන්ද වචන දෙක නං අගෙයි. මේ අය ඡන්දෙට ඉස්සෙල්  ආත කිව්ව වගේ "කටින් බතල හිටෙව්ව"ද දන් නෑ. කියල මේ පොත බලද්දි මටත් සිතෙන්න උනා.
වනකතා පොත නැවතත් පොත් සාප්පු වලින් ගන්න පුළුවන්.   හැකි අය අරන් බලන්නකෝ.[i]





[i] වනකතා මිතුරන් කෙටවීම- වනකතා පොත් අංක 1 -යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන්-විද්‍යාලංකාර ප්‍රකාශනයකි 2012

Sunday, February 8, 2015

වචන දෙකක්

වගකීම සහ වගවීම

බැළු බැල්මට වගකීම කියන එක හැමතැනකම භාවිත වෙනවා. වගවීම යන්න භාවිතවන්නේ කලාතුරකින්. මේ දෙකේ තේරුම් අතර ඇති වෙනස මොකද්ද ? බොහෝ වෑයම් කළත් මම මේ වෙනස තවමත් හරිහැටි තේරුම් ගත්තාද කියල සැකයි.

වගකීම

"උඹ මේකට වගකියන්න ඕනි. නැත්තං බලාගත්තෑකි වෙන දේ"  යයි පවසමින් යමක් නියම  විදිහටම කරන්න පැවරීම වගකීම පැවරීම ද? භාරගත්තු කෙනා ඒක නීතියේ හැටියට  ඉෂ්ට කලොත් ඒකට කියන්නෙ වගකීම ඉටු කළා කියලද ?
" ඔබ හැම ගුරුවරු. පාසලට එන ළමයින්ගෙ ඉගෙනීමේ වගකීම භාරගන්න ඕනා. ඒ වගකීමෙන් පැනල යන්න කාටවත් බෑ. ඒක ඉටු නොකළොත් රස්සාව නැතිවෙනවා." මේ විදුහල්පති තුමා ගුරු රැස්වීමක දුන්න නියෝග
මේ වගකීම යනු මොකද්ද කියල තේරුම් ගන්න හැකිවුන තවත් අවස්ථාවක්.

ඒ නියෝගය කොයිහැටි වුනත්  වගකීම ඉටු කරන බව පෙන්නුවත් ඇති . කිසියම් ගැටළුවක දි අපි වගකීම ඉටු කළා කියල තර්ක කරල ඔප්පු කරන්න පුළුවන් උනත් බේරෙන්න පුළුවන් බව පස්සෙ පස්සෙ මට තේරුම් ගන්න පුළුවන් උනා.
ක්‍රීඩා තරගෙදි ළමයෙක් අනතුරට පත්වුනා. දැන් ඉතින් වගකීම භාරගන්නෙ කවුද ? අපි වෛද්‍ය පරීක්ෂණයකින් පස්සෙ ළමයව තරගෙට යැවුවෙ"යි පවසමින් ගුරුවරුන්ට බෙරෙන්න පුළුවන් උනා. ඒත් ළමයගේ ජීවිතේ අනතුරට ලක්වුනා. දැන් ඉතින් වගකීම භාරගන්න ඔන දෙවියොද ?

වගවීම

වගවීම කියන එකේ ඊට වඩා බර තේරුමක් ඇති. ඒක නේ එහෙම වචනයක් හැදිල තියෙන්නෙත් හැබෑට කොහොමද මේ වගවීම කියන එක තේරුම් කරන්නෙ ?   අන්තර්ජාලයේ සොයද්දි සිංහලෙන් පළ වෙලා තියන මේ ලිපිය වටිනා එකක්. වගවීම පිළිබඳ කළමනාකරණය සිංහලෙන් ලියන පහත දැක්වෙන ලිපිනයේ ඇති රූ සටහන උපුටා ගත්තා. එය බොහෝ දේවල් නිහඬව පවසනවා.   https://managementinsinhala.wordpress.com/tag/%E0%B7%80%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8/ හොඳ වටිනා සටහනක් තියනවා. ඒත් ඒක සම්පූර්ණයෙන් කියෙවුවත් මට හරියටම තේරුම් ගියා ද කියල සැකයි. 


වගවීම කියන්නෙ  තමන්ට තමන්ම අවංකව වගකීම දැරීම කියල හිතා ගත්තොත් නිවැරදිද  ?" කියල මට සිතුනා. ඒ තේරුම් ගැනීම හරිද මන්ද .1


Saturday, February 7, 2015

බැණුම් අහමින් ආත කිව්ව කතාව

ඔන්න පුතේ උපහැරණයක් 


අපේ ආතත් හොඳ විචාරකයෙක්. හිටපු ගමන් පුදුම දේවල් කියනවා.මේක  කතාවකට වඩා උපහැරණයක් කිලයි කතාව ඉවර කරල හදුන්වා දුන්නෙ.  "උපහැරණයක්" කියල ආත අදහස්කලේ මොකද්ද දන්නෑ. ආතට ගරු කරන්න ඕන නිසා ඒක අවධාරණය වෙන්න ඇරිය. වයස හින්දද කොහෙද කතාවෙ ගැලපුම් එච්චර හරි නෑ. ටිකක් දුර එකක් කියාගන ඇවිල්ල තව පැත්තකට හරෙනව.මගේ චූර්නිකාව නවත්තල ආත කියාපු කතාව බලන්න කො.


ඔන්න අපේ මහින්ද මහත්තයට වෙච්ච දේ බලාගනිල්ලකො.මහින්ද මහත්තය ලොකු අවදානමක් ඇවිත් තියෙද්දි හිටි පියවරම හිටිය. ඒ හින්ද ජාමේ බේරුනා කියලයි මට හිතෙන්නෙ. මුල අල්ලන්න පරමාද උනත් පස්සෙ ඉදිරියට තිවුව අඩිය පස්සට ගත්තෙ නෑ. බැරිවලාවත් අඩිය බුරුල් කළා නං අපි ඔක්කොම සුන්  !
අනේ ඊට පස්සෙ උන දේ මහින් මහත්තයව මුරුංග ගහේ කොලිස්සටම  නග්ග වන්න වටේ හිටපු නරි රැලට පුළුවන් උනා නෙව.

මොනවද තාත්තෙ  මේ කියවන්නෙ ? තාත්ත කේන්තියෙ කෑ ගැහව්ව.

මගේ කට කහනව බොල. ඒකයි. මා දෙසට හැරුන ආතා උඹත් විස්ස විජ්ජාලෙ ගියාට මේව කල්පනා කොරාද මන්දන් නෑ. මම කිව්වෙ මට හිතුන පෙනුන දේ. මම ආතත් එක්ක රහසින් කාතාකළා. අනේ ආත කියන්න ආපු කතාව  කියන්න මම කිව්ව.
උඹ ඉස්කෝල යද්දි අපි හිටියෙ පිච්චි පිච්චි. යුද්දෙ දිනුවට පස්සෙ මහින්ද මහත්තයට මුළු රටම ආදරේ කරපු හින්ද තමයි මිනිස්සු උඩිම්ම දිනෙව්වෙ.  ඒ වුනාට එහෙම දිනුවෙ අපි හින්ද නෙමෙයි.  තමන් නිසා කියල වට වෙලා  හිටපු නරි රංචුව කියන්න ඇති. ඒ හින්ද තමයි පස්සෙ උන්ට රැවටෙන්නඩ උනේ. මුරුංග ගහට නග්ගල අතුහෙලවෙන කොට වැටෙන කරල් ටික වටේ හිටපු නරි අහුල ගත්ත. ගහේ අතු පිටින් කඩා දාන්න බිම ඉඳගෙන බල කළා. උන්නැහැ සමහර අතු කඩා දැම්ම. ගහට මුක්කු තියාගෙන කීප දෙනෙක් හිටියත් උන්ට කරල් අහුල ගන්න බැරිවුනා. වටේ හිටපු නරි රැල බිමට දැම්ම අතුවලත් කරල් කඩාගත්තේ හූ තිය තියා. උන් කලාතුරකින්වත් අපි වගේ මිනිස්සු ඉදිරියට ආවෙ හතුරො ගාවට එනව වගේ වටේට මුරකාවල් දාගෙන. පස්සෙ මුක්කු අල්ලගෙන හිටපු අයට ඒ වදේ එපා උනා. ඒ අය කොච්චර කිව්වත් මහින්ද මහත්තයට ඇහුනෙ අරුංගෙ වරුනාව විතරයි ගහ මුදුනටම නග්ගෝල මහ අත්ත බිඳෙන කොට නරි රැල පැනල යන්න උනා.
ඒ හැටි ඉගෙන නොගත්තත් ආතා කිව්වෙ හරි ගැඹුරු කතාවක් නේද කියල මට කල්පනා වෙනවා.

  • ආතා කොලිස්ස කිව්වෙ ගහක මුදුනට 

Wednesday, February 4, 2015

සිතුන නිසා: සංවාදයක් colloquy

සිතුන නිසා: සංවාදයක් colloquy: ජාතික දිනයක් රූපවාහිනිය දිහා ( යක්ෂයාගේ පෙට්ටිය දිහා )- අද 2014. 02.04   බැලුනේ සම්මත කරගත් ජාතික දිනයක් වෙනුවෙන් මොකද කෙරෙන්නේ කියල නි...

බ්ලොග් ලිපි blog post

කියවීම මිනිසා සම්පූර්ණ කරයි
බ්ලොග් ලිපි කියවීම පසුගිය කාලයේ මගේ ලොකුම විනෝදාංශය වෙලා තිබුණෙ. රේඩියොවෙ රූපවාහිනියෙ ගන්ඩම දෙයක් තිබුණෙ නෑ. බ්ලොග්වල හිටියෙ  පත්තරවලට වඩා නිදහසේ ලියන පිරිසක්. ඒ හින්ද වෙන්න ඇති සිත දිනාගත්තෙ. කවුරු හරි යමක් ලිව්ව ගමන් එන්න පටන්ගන්න කොමෙන්ට් නිසා ලියන අයට  ලොකු  වගකීමක් ගන්න වෙනවා. කොමෙන්ට් දාන්න මටත් අනන්තවත් හිතුනා. ඒත් ඊමේල් ලිපිනයක් තිබුණෙ නැති හින්ද ඒකට විදිහක් තිබුණෙ නෑ. හරට හිටියෙ තාක්ෂණ දැනුම,. ඊටත් වඩා ඒ වගේ වැඩකට වැඩිහිටියන්ගෙන් එල්ලවුන විරෝධය. ඊ මේල් ලිපිනයක් කාටහරි කියල හදාගන්නවටත් විරුද්ධ වුනා.
අපේ රටේ ජෙනරේෂන් ගැප් එක බොහොම පටු එකක් වෙන්න ඇති. වැඩිහිටි බලපෑමෙන් නිදහස්වෙන්න අපට ගොඩක් අමාරුයි. අලුත් දේවල් වලට වැඩිහිටියො හුඟාක් බයයි. අපි හැදිල තියන විදිහට ඒ බය කඩා ගෙන යන්න අමාරු තරම්  සංස්කෘතියෙ බලවත්. තවමත් අපි බොහොම පාරම්පරික විදිහට හිතන මිනිස්සු නිසා වෙන්න ඇති. ගතානුගතිකව තමයි හිතන්න  වෙලා තියන්නෙ.
ජේවීපි කාරයො කියන්නෙ ඇත්ත නේද ? වැඩිහිටියො හිතන්නවත් දෙන් නෑ. ඇත්ත උනාට උන් හොරකං නෙකාළට බොහෙම බයානකයි. ආණඩුවෙං උන්ට වැරදුනාම  දඩුවං දෙන්නෙ අපට. උඹලට මතක නෑ. 89,90 කාලෙ අපි වින්ද දුක. 71 ත් එහෙමයි. ඒ හින්ද උඹ ජේවීපි කාරෙක් නං වෙන්න හිතන්නවත් එපා !
ඒ අය විඳිනව ඇත්තෙ ලොකු දුකක් ! පුදුමයි ඒ මිනිස්සු තමන්ට ලැබෙන දෙයක් නැතුව.  ලැබෙන පඩියත් පක්ෂෙටම දෙනව. රට වෙනුවෙන් පුදුම කැපකිරීමක් නේ කරන්නෙ.
රට වෙනුවෙං ? අපි වෙනුවෙං ? ඔව්වො විතරක් නෙවෙයි අනෙක් පක්ෂ කාරයොත් පක්ෂෙ වෙනුවෙං මිසක් රට වෙනුවෙං හිතන බවක් අපට පේන්නෙ නෑ. රට ගැන හිතුවනං රටට මෙහෙම වෙයිද? ඔන්න ඕව අතෑරල තමංගෙ වැඩක් බලාගනිං දුවේ.

අපි ඔක්කොම දේශපාලන සත්තු කියල වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑ. මේ ජනාධිපති වරණය ආසන්න කාලෙ අහගත්තු හා හිතුන දේවල්.

Tuesday, February 3, 2015

සංවාදයක් colloquy


ජාතික දිනයක්

රූපවාහිනිය දිහා (යක්ෂයාගේ පෙට්ටිය දිහා )-අද 2014. 02.04   බැලුනේ සම්මත කරගත් ජාතික දිනයක් වෙනුවෙන් මොකද කෙරෙන්නේ කියල නිකමටවත්  බලන්න හිතුන නිසයි. උත්සවය චාම් උසස් එකක් බව පෙනුනා. 
ඊට පස්සෙ ජාතික රූපවාහිනියෙ ගිය අමරදේවයන්ගේ රත්නදීප ජන්ම භූමි අභිමානවත් ගීය නියමෙට ගැලපුනා. 
මගේ සිත ඉතා තදින් දිනාගත්තේ ඊ ළඟට අසන්නට ලැබුණ ගීය හා දකින්නට ලැබුණ රූප පෙළ නිසයි.

මේ පින්තූරය ගත්තෙ සන්ඩේ ටයිම්ස් 2007 02.04 ලිපියකින්
http://www.sundaytimes.lk/070204/Independencesupp/59Independence6.html
සාම්ප්‍රදායික ජාතිකාභිමාණී ගී වලට වඩා වෙනස්වූ ඒ කමනීය පදමාලාව විසින් කුළු ගැන්වුන අරුත නාදමාලාව සමග ගැලපෙන හැටි ! ගීය සමග එක්තැන්වුන චලනරූප සියල්ල ඇස් කන් ඉවත නොයවන්න සමත් වුනා.!!  ඒ ජාතික රූපවාහිනිය. 

සිරස මොකද්ද කරන්නෙ දන්නෑ. ඒකෙ මහාචාර්ය ජේ.බී. දිසානයක, රතන හාමුදරුවො,  තවත් කථිකාචාර්ය හාමුදුරු නමක් ඉන්දවාගෙන කරන්නට සූදානම්වන සාකච්ඡාවක්. ! පොඩ්ඩක් බලන්න ඕනි.
68 වන නිදහස් දිනය....?
සාකච්ඡාව දිගට ගියේනෑ. අනගාරික ධර්මපාල යන්ගේ පුංචි පදවැලක් අවස්ථාවට ගැලපෙන්න යොද්ගනිමින් කථිකාචාරය හාමුදරුවො ඉදිරි මග යහපත් කරගන්නෙ කොහොමද කියල කියල කිව්වෙ අපූරු විදිහකට ! මහාචාරය තුමා ලෝකය හදන්න නම් මිනිහා  හදන්න යන්න ඕනි කිව්ව විතරයි.  රතන හාමුදුරුවො ලෝක සිතියම දෙපැත්තම පෙරලා බලමින් මිනිහා හදමින් රටත් හදන්න ඕන කියමින් අපූරු සිත්ගන්නා විදිහකට මත්ද්‍රව්‍ය රකුසා විසින් ගිලගන්න හදන ජාතිය ගොඩ ගන්න  යන ගමන ගැන කිව්ව.


කෙටියි  හරවත්, රසවත් අපූරු සංවාදයක් ! මගේ හිතට අමුතු සනීපයක් !! මාත් මේ සටහන තිව්වෙ පුදුම  නිදහස් සැහැල්ලු සිතකින්!!!