Monday, September 28, 2015

"දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු"

සබ්බේ සත්තා උග්‍ර උන්මත්තකා.....! ?

ජනමාධ්‍යකින් උපුටා ගත්තු නිසයි දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු කියන වදන් පෙළ උදෘතපාඨ ලකුණු අස්සට දැම්මෙ. 
පහුගිය දවස්වල සිද්ද වුන ඛේදවාචකයන් මොනවද කියන එක දැන් සෑහෙන්න පැහැදිලියි. හොඳ සිහියෙන් ඉන්න අයට කරන්නට බැරි ඒ අපරාධ  කරල තියෙන්නෙ මානසික රෝගීන් බව. 

ඔවුන් රටේ හැම ක්ෂෙත්‍රයකම  ඉන්න බවත් පහුගිය ටිකේ ජනමාධ්‍ය දිහා බැලෙන කොට තේරුම් ගියා. 
ඒ හින්ද "සබ්බේසත්තා උන්මත්තකා" විය හැකියි. ඒත් සබ්බේ සත්තා "උග්‍ර" උන්මත්තකා වෙන්න විදිහක් නෑ නේ.

මේවට ප්‍රතිකාරය වෙන්නේ රෝගීන් සොයා එල්ලා මරා දැමීම ද ? මානසික රෝගීන් නොසලකා හැරීම අපේ රටේ තරම් වෙනත් රටක සිදුවෙනවා දැයි නොදන්නෙමි. 

මේ සත්‍ය කතාවක්. 
ඈත පිටිසර නගරයකට ආසන්නයේ පිහිටි ගමක්. (මේ කියන්න යන කෙනාගෙ නම ලියන්නේ නෑ.) සැහෙන්න දක්ෂතා තියන ............. කෙනෙක්.  ඒත් එයා කරගත්තු කසාදය අසාර්ථක වී ගියා. එයාට හොරකමේ යන එක සාමාන්‍ය පුරුද්දක් වෙලා තිබුණෙ. මෙහෙම ඉන්න අතරේ හොරකමකට වැරදි කරුවෙලා හිරේ ගියා. අවුරුදුදක විතර දඬුවම් කාලය නිමවූ නිසා නිදහස් වෙලා ගමට ආව. එයා පිස්සෙක් බව හිරේ යන්ඩ පෙරදිත් ගමේ ඇතැමෙක් කතා වුන බව මට මතකයි.
නෑදෑයො නම් හොඳ සිහිය තියන පිළිගත් අය. අසිහියෙන් ඉන්න විකෘති පුද්ගලයෙක් නිසා හිරේදි  වෙදකම් කළ බවත් ආරංචි වුනා. ගමට ආවට පස්සේ වසරක් පමණ යනතුරු යන තුරු හොඳට හිටිය. එත් මත්පැන් පානයට ඇබ්බැහි   උන ගමන්  ආයෙත් පරණ පුරුදු ඇති වුන බව පෙනුනා. 

මෙයා ගැහැණූ දරුවන් සිටින ගෙවල් අසල නිතර ගැවසීම නිසා ගමේ අය හිටියෙ විමසිල්ලෙන් හින්ද කරදරයක් ඇති වුනේ නෑ. රාත්‍රියේ නිවෙස් වල ජනේල අසල සිට හසුවීම, රෙදි වැල්වල  වනල තිබ්බ, විශේෂයෙන් කාන්තා ඇඳුම් හොරකම් කර ගෙන ගොස් අතටම හසු වීම වගේ දේවල් වැඩිවැඩියෙන් ආරංචි වෙන්න වුනා. කවුරුත් තමන්ගෙ දරුවන් පරෙස්සම් කරගන්න සැලකිලිමත් වුනා. 

අසල් වැසියන් විසින් මේ විස්තර අදාල පුද්ගලයාගෙ නෑදෑයන්ට පැවසීම අනුව ඔවුන් ද මැදිහතවී පොලීසිය මගින් මේ පුද්ගලයා නැවත පුනරුත්ථාපන කඳවුරකට යැවුවා විය හැකියි. මේ දිනවල ඔහු නැවතත් ගමට පැමිණ ඇත. කිසියම් කලක් යන තුරු දිනපතා පාවිච්චි කරන්න බෙහෙත් නියම කර ඇති බව දැනගන්න ලැබෙනවා. දැන් ඔහු සිටින බවක් වත් දැන ගන්න බැරි තරමට හොඳයි. 

"බැරිවෙලාවත් මේක බෙහෙත් නවත්තල  ඉස්සෙල්ල වගේ  කසිප්පු බොන්න ගත්තොත් තමයි  වැඩේ". මේ ගමේ අය පවසන කතාවක්. මේ ඇත්තටම රෝගියෙක් නේ. ඉතින් එවැනි අය අතින් සිදුවිය හැකි අපරාධයක දි  එල්ලා මරන්න ඕනිද ?  නැතිනම් අපරාධ වෙන්න කලින් වෙනත් සුදුසු පියවර අරගත යුතුද මේ කල්පනාව ඇති වුනේ මෙන්න මේ ලිපිය කියෙවුවට පස්සෙ

පාසල හා විෂය මාලාව ඔස්සේ අධ්‍යාපනයට යම් තරමින් ළං වන ලිපි ලියමින් සිට  ටිකක් ඈතට ගිහින් මේ ලිපිය ලියන්න ගත්තෙ තේමාවෙන් පිට පැන්න නිසා නෙවෙයි. ඒකත් අධ්‍යාපනයට සම්බන්ධ නිසයි.

ඔන්න ඔක්තෝබර් පළවෙනිදා දකින්ඩ ලැබෙන අවිධිමත් ඉගැන්නිල්ලක් බලන්න පුළුවන් බව අාරංචියි. ගරුන්නාන්සෙලා වෙන්නේ ජනමාධ්‍යයක්.  ගෙවල් වල සාලෙ තියන යකාගෙ පෙට්ටියෙ පොරචාරරෙ කරනවා. 

ළමා හිංසනය පිටු දකින්ඩ ඕන කියග කියා දෙන්න යන්නෙ සිහියෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අයගෙ හිතේ තමන් ඇර රටේ ඉන්න අනෙක් සේරම අපරාධ කාරයො කියල වෙන්න ඇති. ඒක නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප හදන්න උත්සාහ ගන්නවා වගේ පේන්නෙ.  
බලධාරීන්ටයි මාධ්‍ය කරුවන්ටයි  මධ්‍යස්ථ මත ධාරියා නමින් ලියන මේ ලිපිවත් කියවල ඉන්න කියන්නයි මේ පෝස්ටුව ලිව්වෙ



ඉහත රූප සටහන උපුටා ගෑනිම පහත ලින්ක් එකෙනි.
yourliferules.wordpress.com


Monday, September 21, 2015

ආන්ත්‍රාවයි, පිරිමින්ට ආන්ත්‍රාවයි !

විෂයමාලාව ස්ත්‍රී ලිංගිකද ?

“ ඇත්තටම හැබෑ නේන්නම් !“ හදිස්සියේම මෙහම පුදුම හැඟීමක් පහළ වුනේ පහුගිය 17 වෙනිද BMICH එකේ දි  ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ගෙ ධර්මපාල අනුස්මරණ දේශනයෙ  "පිරිමි ළමයි අයාලෙ යන කාලෙ. ගෑණු ළමයි ඉගෙනීමට උත්සාහ කරන සමාජ වාතාවරණයක අපි ජීවත්වෙන්නෙ" යන කොටස ඇසුනාමයි.

එතැන් සිට මට පාසල මැවී පේන්න උනා. විශ්ව විද්‍යාලය පේන්න වුනා. මොකද්ද හැබෑට වෙලා තියෙන්නෙ. ? කොල්ලො ටිකක් හරි උවමනාවෙන් රැඳිල ඉන්නෙ 5 ට එනකං විතරයි.  6, 7, 8,පන්ති පහුවෙන  උන් කොට යකා නටනව. ක්‍රීඩා වක්වත් නොකරන අය කට්ටිපනින්න පටන් ගන්නව. ගුරුවරු වැඩිහිටියො එක්ක රන්ඩු අල්ලන්න වෙනවා. මෙතෙක්  ආධිපත්‍යය පතුරවා ගෙන හිටපු දෙමාපියො වැඩි දෙනෙක් මේ කාලෙදි තමන්ගේම කොල්ලන්ට බයයි. ගුරුවරුත් එහෙම ද කොහෙද ඇයි මේ ? 

9 පහු කරල 10 ට එද්දි ගුරුවරු බොහොම දෙනෙක් කොල්ලන්ට විහිළු සපයන්නො බවට පත්වෙනව. විවිධාකාර නම් පටබැඳගෙන විකාර කරමින් කෙල්ලො අතරෙ වීරයො වෙන්න තරග කරනවා. කෙල්ලො කොල්ලන්ට හිනා වෙනව තමයි. සමහරවිට අනුමත කරනවත් තමයි. ඒත් මේ සේරම අස්සෙ උන් ඉගෙන ගන්න මහන්සි වෙනව. ඔන්න ඕකයි පොදුවේ දකින්ඩ තියන තත්වය. ඇයි මෙහෙම උනේ ?

විෂයමාලාව ස්ත්‍රී ලිංගික නිසාද ? කොල්ලන් වැඩි දෙනකුට මේ උගන්නන විදිහවත්, උගන්නන දේවල් වත් අල්ලන් නැතුව යන්නෙ ඇයි ? 

O/L වලින් හුඟක් අය හැලී යනව. A/L වලින් තව ගොඩක් හැලෙනව. කැම්පස්යන්නෙ බොහොම ටිකයි. මං උසස් පෙළ විතරක් නෙවෙයි කැම්පස් ඉන්න කාලෙත් එහෙමයි.

හැලී ගිය එව්වන්ටයි, රැඳී හිටල ඉගෙන ගත්තු අයටයි කියල ඒ හැටි වෙනසක් නෑ.  සමහර විට හැලී ගිය එව්වො  ඉගෙන ගත්තු එව්වන්ට වඩා සාර්ථක වෙනව.
උන් සමහර අය තමෙන්ගෙ සහජ දස්කමක් දියුණු කරගෙන හරි සල්ලි හම්බ කරනවා.  රත්නපුරේ පැත්තෙනන් මැණික් ගරල නැත්නම් මැණික් විකුණලා හරි හොඳ සල්ලි කාරයො වෙනවා. තවත් ටිකක් කසිප්පු ජවාරමක් වගේ දෙයක් කරලා හරි සල්ලි හොයනවා. තවත් එකෙක් දෙන්නෙක් දේශපාලනයට යනවා. කොහොම හරි සල්ලි හොයනවා. බැලුවාම මුළු රටේම තත්ත්වෙ එහෙමයි.


පාසලෙත් විශ්ව විද්‍යාෙලයෙත් කෙල්ලො තමයි වැඩි. මේ අනුපතාය නැත්තේ පාර්ලිමේන්තුවෙ විතරයි. හිටපල්ලකො අපි එතනත් අල්ලනව. දැනගනියව්. knowledge is power ! 
එදාට "අපට සමතැන් දීපියවු" කියල උඹලටත් සටන් කරන්ඩ වෙයි. ඊට ඉස්සෙල්ල විෂයමාලාව උඹලටත් රටටත් වැඩක් වෙන විදිහට වෙනස් කරගන්න උද්ඝෝෂණය කරපල්ල.

Tuesday, September 15, 2015

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මේක අධ්‍යාපනේ ද ? අද්දියාපනේ ද ?

හෝව්! හෝව් !! මේ කියන්න හදන්නෙ සුනිල් එදිරිසිංහගෙ සින්දුව ගැන නෙමෙයි. 
අද්දියාපනේ ගැන.  බැරිවෙලා හරි බලදාරියෙකුගෙ ඇහැ ගැටුනොත් පොඩ්ඩක් හිතල බලන්නෙ වත් නැතෑ. රිදෙන තැනකට රිදිච්චාවෙ කියල මේ ගැන හිතට ඇතිවන සිතිවිලි ලියන්න හිතුවා.










මිනිස් පැටවු උපදින්නෙම ඉගෙනීම මූලිකම අවශ්‍යතාවක් කර ගෙන. වෙනත් සත්තුන්ට වඩා මිනිස් පැටවු බොහොම අසරණයි. අම්මගෙ තන පුඩුවෙන් කිරි උරා බොන්නත් උගන්නන්න ඕන. ජීවිතයේ හැම දෙයක්ම, හැම පියවරක්ම උගන්වන්න ඕන. ඒ හින්ද අධ්‍යාපනය කියන්නෙ මනුස්සයන්ට කෑම බීම වගේම මූලික අවශ්‍යතාවක්. 
මිනිස් පැටවුන්ගේ ඉගෙනීමට තියන තිබහ පේනව කතා කරන්න පුළුවන් උනගමන් අහන්න පටන් ගන්න කෙලවරක් නැති ප්‍රශ්න වලින්. වැඩිහිටියන්ට කට උත්තර නැතිවෙන්නම අහන්නේ උන්ට ඉගෙන ගන්න ඕන නිසා. නිදා නොගන්න හැම වෙලේම උන් කරන්නෙ ඉගෙන ගන්න එක.

අපේ පාසල් වල දුයිෂෙන්ලා බෙහෙතකටවත් ඉන්න වද ? හරිපුදුම ඉස්කෝලෙ ඉන්න කොබයාෂිලා  ඉන්නව ද ? බොහොම ටිකක් ඉන්නවා කලාතුරකින් !  ඒත් උන් අසරණයි. !! හොඳටම අසරණයි!!! අනෙක් එව්වංගෙ උපහාසයට අපහාසයට ලක්වෙමින් ඔහේ වැඩ කරගෙන යනව. එච්චරයි ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. ඒත් ඉන්ද්‍රඛීලයක් වගේ කෙලින් ඉන්න මේ අතලොස්ස සුනිල් එදිරිසිංහ ගායනා කරන  සින්දුව මගින් කෙරෙන්නෙ   උපහසයට ලක් කිරීමක් ද කියල මට වෙලාවකට හිතෙනවා.

ඉතිරි ගුරුවරු කියල හිතාගන ඉන්න අයගෙන් කොටසක් තමන්ගෙ  දරුවා වෙන ඉස්කෝලෙකට ගිහින් දාල, ඒක ඇරෙන වෙලාවට ළමය ගන්න හොරෙන් පැන යන හොරු ද ?  පඩිය අර ගන්න   පාසලේ ළමයි රවට්ටගෙන  කාලෙ ගෙවා දාල ටියුෂන් පාර ගහගන්න යන කලු කඩකාරයො ද ? (රහසෙන් කියන්නෙ කාටවත් කියන්න එපා ගුරුපත්වීම් ගත්තු සමහර චීවර ධාරියො බුද්ධාගමත් විකුණ ගන්න බඩුවක් හැටියට පෝස්ටරුත් ගහල විකුණ ගන්නව.)

ආයෙ පළවෙනි ඡේදයට මම යනව. ඉස්කෝලට එන ළමයි හැම වෙලේම කරන්නේ ඉගෙන ගන්න එක. මොනව මොනව හරිම ඉගෙන ගන්න එක. ගුරවරු ඉගෙන ගන්න මග පෙන්නුවොත් ජීවිතයට ඕන දේවල් ඉගෙන ගනීවි. එහෙම එකක් නැති හන්ද උන් ඉගෙන ගන්නෙ හුඟක් වෙලාවට ඕන්නැති දේවල් . පහුගිය ලිපියේ කිව්වෙ ඒ වගේ දේවල් ඉගෙන ගන්න යෙදෙන ක්‍රියාකාරකමක්. නොදන්න එකාට පුළුවන් එකා කියලදෙනව. ඕන්න ඉගෙනීම !

මේ තමයි ටික කාලයක් උගන්නන්න ගිය මට හිතුන දේ. මේක බොහොම කර්කශ විවේචනයක් වෙන්න ඇති. මට දැනට දරුවෙක් ඉන්නව නං මමවත් මේක ලියන් නෑ . හොඳ වෙලාවට මම තවම කසාද බැඳල නෑ. මම ගුරු රස්සාව අතෑරල ආවෙ මේ පෙනෙන වංචාව ඉවසගන්න බැරුව. දැං ඉතින් කොයි ඉස්කෝලෙ ද කියල අහන්න එපා කොයි එකත් ඔහොම තමයි. මොනව ද ඇහුවෙ ? ඔව් ඉන්ටනැෂනල් කියන ඒවත් එහෙමමයි.

Monday, September 7, 2015

මෙන්න නිකං දෙනවා

අධ්‍යාපනය උඩු යටිකුරු කරන්න වෙලා ද? 

අනේ මේකත්  අරන් යන්න කෝ ! මේ අද හදිසියේම අහන්න ලැබුණ  කතාවක්. මේ මොකද්ද ? කඩවීදියේ සාප්පුවක් ඉස්සරහ අටව ගත්ත විසිතුරු කුඩයක් යටට වෙලා ඉන්න තරුණ කොල්ලො කීපදෙනෙක් පේමන්ට් එක දිගේ එමින් යමින් සිටින කොල්ලන්ට කෙල්ලන්ට
මොකද්දෝ ඇඟේ ගහන්න හදනව.

සාප්පුව ඇතුළට ගිය අම්මා එනතුරු රැඳී සිටින තරුණියක ලෙසින් සාප්පුව ඇතුලත බලමින් මේ සිදුවන දේ නිරීක්ෂණය කරමින් හිටිය. මොකද්දෝ 
කරුමයකට මේ අය අරව මා අසළට නම් ගෙනාවෙ නෑ. එහෙම ගෙනාව නං හොඳට අහගන්න තිබුණා. අඩමානක් නෑ පාසල් ඇරුන වෙලාව නේ. මම ටීචර් කෙතනෙක් කියල අනුමාන කරපු හින්ද වෙන්න ඇති මා ළඟට නොආවෙ.
 මේ එන එන කොල්ලන් කෙල්ලන්ට දෙන්නේ සිම් එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඕන කරන්නෙ නමයි ලිපිනයයි. අයි ඩී නම්බර් එකයි විතරලු. දවස් 20 ක් යනකං නොමිලේම සම්බන්ධතාව ලැබෙනවලු.

දෙවියනේ මේ විදිහට සිම් වැහි වැහැලා. අයි ඩී ගෙනාවෙ නැති කෙනෙකුටත් අංකය දුන්නම  දෙන බව කියනව අහන්න ලැබුණා.

පෝfන් හින්ද අපේ තරුණ දරුවන්ට වෙන දේ දෙමාපියන්ට තවම පේන්නෙ නෑ. සිම් එකක් ගන්න කෙල්ලො කොල්ලො වහ වැටෙන හැටි මම දිගටම බලාගන හිටියා. පාසල් ඇරී එන ටියෂන් යමින් ඉන්න කෙල්ලො කොල්ලො සිම් ගන්නවා. ඒත් පෝfන් තියන බවක් පේන්නෙ නෑ. පාසල්වලත් පෝfන් තහනම් නිසා දෙමාපියො අරන් දෙන්නෙත් නෑ. එහෙනං ඇයි සිම් කාඩ් විතරක් ? මම තවත් හොඳින් නිරීක්ෂණය කළා. මූණ රතු කරගත් කෙල්ලෙක් යාළුවා එක්ක රහසෙන් මොනවද කියනවා. ඔන්න මට ඇහුන කොටස. 

"අනේ බං මට ඇයි සිම් ? ඇයි කෙල්ලෙ උඹට නැතුවට  ගෙදර කාට හිරි පෝfන් එකක් ඇති නේ. ඒක නිකං තියන වෙලාවක එක්කො මහ රෑට හරි පෝfන් එක අරං සිම් එක දා ගනිං. ඊට පස්සෙ කතා කරපං sms  ඇරපං. ඊට පස්සෙ මෙමරි එකෙන් සේරම මකාදාපං පෝfන් එක තිබුණ විදිහටම තියා තියපං. උඹට ඕක කරගන්න තේරෙන්නෙ නැත්නං අම්ම එක්ක හරි  අපේ දිහා වරෙං මං කියල දෙන්නං ඒක හින්ද උඹත් එකක් ගනිං"

ඔන්න වැඩේ මට තේරුනා. මේ දෙන්න 9 හරි 10 හරි ළමයි. අපේ කෙල්ලන්ට වෙමින් තියන දේ ! කවුද මේකට වග කියන්නෙ කාටද මේ ඛේදවාචකේ පේන්නෙ. අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපනය කියල කරන්නෙ මොකද්ද ? 5 පන්තියෙදි වද දීලා දිලා මේ වෙනකොට ළමයින්ට දෙමාපියො පේන්න බෑ. මේ වයස එන කොට තමන්ගෙම ළමයින්ට හුඟක් දෙමාපියො බයයි. !! ඒ ගොල්ලො හොඳටම අසරණයි. සමස්ථ අධ්‍යාපන පද්ධතිය විසින්: ඒ කියන්නෙ පාසල් වාගෙම  ටියුෂන් පන්තිවලිනුත් ළමයි ගෙනියමින් ඉන්නෙ කොහාටද ?

කාට හරි කියලා හදව ගන්න fb එකවුන්ට් එකකින් අපේ තරුණ පරපුර කරමින් ඉන්නෙ මොනවද ? අහුවෙමින් ඉන්න උගුල් මොනවද ? අමාරුවෙ වැටුන ගණන කීයක්ද ?

මට මීට වඩා දෙයක්  කියන්න නෑ. කියවන අය මොනව හරි පුංචි හඬක් නගන්නටයි මේ ඇරයුම !

දිවයින පත්තරේට අධ්‍යාපනය ගැන ලියන, prof.සෙනෙවි එපිටවත්ත වගේ කෙනකුටවත් මේ ඇති වෙමින් තියන තරුණ පරපුරේ ආකල්ප සෝදාපාළුවට පිළියමක් ගැන හිතෙන බවක් නෑ.මේ ලින්ක් බලන්නකෝ