Wednesday, April 29, 2015

මෙහෙම පුදුමයක්

19 ? ඔන්න බලාපං වෙන දේ


මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.

අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට  හිතෙන, ඇඟට දැනෙන  ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද  නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත්  අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.

“19 ? ඔන්න බලාපං ඕක  කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස  කට උත්තර නැතුව ගියා.

පක්ෂයි ! පක්ෂයි! පක්ෂයි! පක්ෂයි..................................................................................................
අහවල් එක දාපු හින්ද පක්ෂයි! (රටෙන් නැත්තටම නැතිවෙන්ඩ අතුගෑවෙන හින්ද පක්ෂයි) 


පිට කොන්ද ඇතුව මම විරුද්දයි කියල කියන්න  හිටියෙ එකයි. ඌට මම නං කැමති උගේ මතය එක්ක එකතුවෙන හින්ද නෙමෙයි. හිතට එකඟව කතා කරපු  හන්ද.

 “පුරාවස්තු  අරන් කෑවට කමක් නෑ කියපු චක්‍රවර්ති වගේ එව්වංට රෙදි ඇඳගෙන ඉන්න බැරි හින්ද පැත්ත පළාතෙ ආවෙ නෑ.


“මයිත්‍රි කියන්නේ නිකං නෝන්ජලයෙක් කියල ටිකදවසක් යද්දි මටත් හිතුනෙ . නෑ කෙලේලෙ මේන්න බලාපං ඒ හැටි බක්කක් නොවුනත් උන්නැහැ කරන්න පුළුවන් හරිය  කොළා. අනෙක් පැත්තට කරපු හරිය පුංචි දේකුත් නෙමෙයි.


මෙහෙම පුදුමයක් ඇතිවෙයි කියල මාත් හිතුවෙ නෑ. “දැං උඹට ඕන දෙයක් ලියාපං“. ආත කිව්ව ටික විතරක් ලිව්වහම ඇතිය කියල මට හිතුනා

Saturday, March 7, 2015

අද අපේ දවසයි

කාන්තා දිනය

අද දවසට අපේ දවසය කිව්වෙ කාන්තා දිනය විදිහට වෙන් කරල තියන
හින්දයි. “අම්මා“ පදවිය ලබා ඇත්තේ කාන්තාවකි. ඇය සොයමින් ඇවිද ගියෙමි.  අප්‍රකට චිත්‍රශිල්පියෙක් වුවත් දයානන්ද වික්‍රමසිංහයන් මසිත සටහන් වී ඇත්තේ බිම හිඳ ගෙන, කුණු බක්කියකට හේත්තු වී පිටට වාරු ගෙන දරුවාට මව් කිරි දෙන කාන්තා රුවක් සිත්තමට නගා තිබෙනු දැකීමෙනි. එය නම් කර තිබුණේ   කුණු බාල්දියට පිට දී බුදු බව පැතීමවගේ වැකි පෙළක්  බවයි මතකය.  

ගෝර්කි  පෙන්වා දුන් අම්මා, සන්නස්ගලයන්ගේ අම්මා, නැපෝලියන්ගේ අම්මා වැනි අනේකවිධ අම්මාවරුන් හමු විය. කිතුතුමන්ගේ මව මෙන්ම සිදුහත් මව ද දිටිමි.
තවත් වෙනස්ම අම්මාවරුන් රාශියක් ලාංකීය පැරණි සමාජයේ සෑම පෙදෙසකම හමුවේ. ඔවුහු අදත් වැඳුම් පිදුම් ලබති. ප්‍රධාන වශයෙන් අම්මාවරු හත්දෙනෙකි. කිරි අම්මා දානය ට වැඩමවන්නේ හත්දෙනෙකි. තවත් විටෙක සත් පත්තිනි හා දොලොස්
පත්තිනි වශයෙන් ද පිදුම් ලබන්නීය. මුළු රටපුරාම තම අසීමිත බලය එකසේ පතුරවන දෙවියන්  වන්නේ පත්තිනි අම්මා දෙවියන් ය. ඒ කාන්තා දෙවි කෙනෙකි. ඊට සම කළ හැකි පිරිමි දෙවිකෙනෙකු ලංකා සමාජයේ හමු නොවේ. දෙවි වරුන් අතර සම තැනක් නොව අතිවිශේෂ තැනක් ඇය ලබා තිබිණි.

අපේ රටේ කාන්තා අයිතිවාසිකම්.

ලාංකික කාන්තාවෝ සමතැන් ඉල්ලති. තමන්ට කාන්තා අයිතීන් නැතැයි අරගලයට සැරසෙමින් ඉල්ලා උද්ඝෝෂණ කරති. මේ ලාංකික කාන්තා හඬතුළ ක්‍රියාත්මක වන ඇතැම් දෑ අතර තෝරාගන්නට අපහසු තැන් රාශියකි. කාන්තා අයිතීන් ඉල්ලීම
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු  ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
ආතා මොකක්ද හිතන්නේ කාන්තා අයිතින් ඉල්ලීම  ගැන ?
ඒක හරියටම හාමුදුරුවරු ඡන්දෙට ඇවිත් තමන්ට බලය ඉල්ලනවා වගේ ඔන්න  එකවරටම කිව්ව දේ.
ඒ උපමාව  පැහැදිලි මදි නේ !
හොඳයි අහගනිං හාමුදරුවො කියන්නේ ගිහි අපට ඉහළින් ඉන්න පිරිසක් ! සිවුරත් ඇඳගෙන ඡන්දෙට ආවා කියන්නේ විහින් පහළට ඇද වැටීමක් නෙවෙයි ද, මෙතෙක්  තිබ්බ ගෞරවය නැති කර ගැනීමක් නෙවෙයි ද?
ලංකාවෙ ගෑණු උඹලත් එහෙම තමා. සමාජෙ ඉන්නෙ බොහොම විශේෂ තැනක ! ඒක උඹලටත් අමතක වෙලා. මේ බලාපං ගෙදෙද්දි අම්මා කාටත් ප්‍රධානිය. එයාතමයි අපි ඔක්කොටම අණ දෙන්නෙ, පාලනය කරන්නෙ. හොඳයි බොරුද කියාපං. අම්ම ගෙදර නැති වෙලාවට උඹත් ඒකට ලැහැත්තිවෙන්නෙ නැද්ද කියාපං.
"උඹලගේ අම්මත් කාන්තා සංවිධානෙකට ගිහින් ආවට පස්සෙ මම  කිව්ව ඇත්ත තමයි දුවේ කාන්තාවන්ට සමතැන් දෙන්න ඕන. ඔය තැං තැංවල තියන කාන්තාවන්ට පමණයි කියන බෝඩ් ගලවල දාන්න ඕන කියල"

ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?


මේ විදිහට ගියොත් අනාගත සන්නස්ගල ලා අම්මා මොන විදිහට හැඩ ගන්වාවිද ? නොදන්නා අතීතයක නොදන්නා කලා කරුවා නිම කළ පල්ලියේ දේවමාතාව දේවාලයේ පත්තිනි මාතාව තුළින් පිළිබිඹු කරන්නට තැත්කළ අසිරිමත් කාන්තා සංකල්පය.....?

ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි. 

Thursday, February 19, 2015

පොතේ දසාව නරක්වූ හැටි

වනකතාව තහනම් වීමේ හේතුව

මේ ලිපිය පොත පිච්චුව කවියක් , ලියන බසේ පෙරළිය  සහ  බලෙන් පැට වූ උපදේශය ට පසුව ලියවෙන  ලිපිය බව සලකන්න. හොඳින් තේරුම් ගැනීම පිණිස එම ලිපි තුන පලමුව කියවීම වඩා ප්‍රයෝජනවත් වෙයි. 


පඤ්චතන්ත්‍රයේ එක්තරා  ශ්ලෝකයක් නොතිබුණා නම් යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතාව පොතටත්,  එවක පැවති  ජ්‍යෙෂ්ඨ විභාගයට එය සුදුසු යයි අනුමත කළ කමිටුවටත් යහතින් ඉන්නට හැකිව තිබිණි.
එකල මෙකල මෙන් පාසල් සඳහා පොත් ලියන මණ්ඩලයක් නොවීය. ඒ වෙනුවට  විවිධ ලේඛකයන් හා විද්වතුන් විසින් ලියනු ලබන පොත් අතරින් පාසලට සුදුසු පෙළ පොත් මොනවාදැයි සොයා බලා
අනුමත කරන පිළිගත් විද්වතුන්ගෙන් සැදි කමිටු පිහිටුවා තිබූ බව පෙනේ. මේ අවදියේ සිංහල භාෂාව සඳහා වූ  කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය (සිංහල පිළිබඳ මහාචාර්ය) මහාචාර්ය ගුණපාල මලලසේකර(එවකට පාලි මහාචාර්ය) සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුර ලබා සිටි ඊ.ආර්. එරත්න මහතා යන අය වෙති.


ඔවහු වනතකතා පොත ජ්‍යෙෂ්ඨ විභාගයට සුදුසු බවට ඒකමතිකව සම්මත
කර ඇත. මේ ඒ සමගම ඇති වූ තත්වය යක්කඩුවේ හිමියන් පෙන්වන්නේ පහත උපුටනයේ දැක්වෙන ආකාරයෙනි.
“........එපමණකි.දසාව නරක්විය. විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්මට කැමැත්තක් නැතුව සිටි ඇමැත්තන්ලා, මහ ඇමැත්තයාගේ ද නියමයෙන්
ඔවුන්ගේ ඇබිත්තයන්ද සහාය කරගනෙ, වනකතාවේ අකුරක් තියා, එහි යොදා තිබුණු ඉරක්වත් තේරුම්ගත නොහැකි ඩිරැක්ටර් තුමාගේ මාර්ගයෙන් එය තහනම් කළහ“.[1]

මහ ඇමතිතුමා අපහසුවට පත්වන බව නිගමනයක් ගෙන මේ පොතේ තහනමට හේතුව වී ඇත්තේ පහතින් දක්වා ඇති ශ්ලෝකයේ පරිවර්තනයයි. ඒ මෙසේය.

නරකාය මතිස්තේ චෙත් පෞරොහිත්‍යං සමාචර
වර්ෂං යාවත් කිමන්‍යෙන මඨචින්තාං දිනත්‍රයම් [2]

යන්නය. එය පඤ්චතන්ත්‍රයේ එන ශ්ලෝකයකි. එය එලෙසම කවියක් බවට පත්කරන විට පහත ආකාර ගන්නා බව හිමියෝ පවසති.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් පුරෝහිත කම අවුරුද්දක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[3]

පඤ්චතන්ත්‍රය වර්තමානයේ ලියවුනක් නොවන බැවින්  ඒ අදහස පරණ එකක් බව ද, තමන් අතින් සිදුවී ඇත්තේ එය කාලයට ගැලපෙන අයුරින් සකස් කිරීම බව ද, තහනම් කරන්නේ නම් මුලින්ම තහනම් කළයුත්තේ පචතන්ත්‍රය බව ද, යනුවෙන් පරීක්ෂණ යේ දී එරත්න මහතාගෙන්  විමසන විට පවසන ලෙස යක්කඩුවේ හිමියන් ඒ මහතාට උපදෙස් දුන් බවද හිමිපාණෝ පවසති. එම කවිය වනකතාවේ දක්වා ඇත්තේ මෙසේය.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් මහ ඇමතිකම එක දවසක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[4]

පැවැත් වූ පරීක්ෂණයෙන් එරත්න මහතා අසමත්විය. මහාචාර්ය දෙපොළ නිදහස් ආයතනයකට අයත් බැවින් පරීක්ෂණයකට ලක්නොවූ බව හිමිපාණෝ පවසති.
එරත්න මහතා අනුරාධපුරය මධ්‍යමහා විද්‍යාලයට මාරු කර යවා වනකතා පොත ද තහනම් කෘතියක් බවට පත්ව එතෙක් පළවී ඇති පිටපත්  එකතු කර ගිනිතැබූ බව ද ප්‍රකටය.

යක්කඩුවේ හාමුදුරුවන් මෙය පවසන්නෙ පහත උපුටනය පරිදි  දැඩි උපහාසාත්මක වැකිවලිනි.

“ඒ මහතා( ඊ.ආර්. එරත්න මහතා) ලවා අටමස්ථානය වන්දවා තමන්ට ස්වර්ග උප්පත්තිය අත්කරවා ගන්නට දෝ අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට මාරු කළේය..........වනකතාවත් තහනම්විය. දෙවෙනි පොතේ තිබුණ ඒ කවිය නිසා පළවෙනි පොතත් වනකතා නමමත් තහනම් විය................ සපයාගත හැකිව තිබුණු සියලු පොත් රැස්කරවා ගිනිබත්ද කළහ.“[5]

මේ පොත හඳුන්වමින් ලියාගෙන යාම  මෙතෙකින් නිමවේ.  රු300 කට මිල නියම කර ඇති මෙය දැන් පොත්සාප්පු වලින් ලබාගත හැකිව පවතී.




[1] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව-යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[2] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[3] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[4] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xvii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[5] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010

Tuesday, February 17, 2015

බලෙන් පැට වූ උපදේශය

සිද්ද වෙන සේවයක් නෑ.

සිංහලෙන් බ්ලොග් ලියන එවුවන්ගෙන් සිද්ද වෙන මහ ලොකු සේවයක් නෑ.  හැම එකේම ව‍ගේ අපේ සිංහල භාෂාව මරණවා. අක්ෂර වින්‍යාසය විතරක් නෙමෙයි. වචනත් විකෘති කරනවා. ලියන්නෙ "ගමේ ‍ ගොඩේ, පේමන්ට් එකේ කතාකරන" භාෂාව.   ඒව නොකියවන එක හොඳයි තේරුනා නේද ?”. මගේ උපදේශකයා  අවධාරණය කළේ භාෂාවට සිදුවෙන හානිය ගැනයමං වගේ ඇටිකිච්චන් කෙල්ලෙක් මොනව 
කරන්න ද ! බලෙන් පැටවූ උපදේශය ගැන මට තිබු‍ණෙ  විශාල සැකයක්. ඒක නැතිවුනේම නෑ.
මම කියන දේ අනෙකාට තේරෙනව නං ඊට වඩා තියන ව්‍යාකරණය මොකද්ද ! ලියන්න විතරක් පොදුවේ පාවිච්චි වෙන්නැති නැති භාෂාවක් යොදාගන්නෙ ඇයි ? ඔය මට තිබ්බ ගැටළුව. මම පණ්ඩිතයෙක් නෙමෙයි හින්ද ඒ බුම්මගෙන ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඔය අතරෙදි තමයි ආතගෙන් අමුතු පොතක් ලැබුණෙ. ඒ වනකතාව. ඒක කියවද්දි තමයි  යක්කඩුවෙ ප්‍රඥාරාම නම් වූ මහ වියතා හමු වුනේ.  මොනතරම් වාසනවක්ද ?  
පණ ඇති හෙවත් ජීව භාෂාව ගැන වනකතා ගැන කතායනුවෙන් ලියන හැඳින්වීමෙදි කදිම විස්තර තියනවා. ඒ අතරින්  උපුටාගත් කොටස් කීපයකි මේ. (ලිපිය දිග වැඩිවීම වලක්වා ගන්නයි මේ විදිහට කෑලි කෑලි ගත්තෙ).
“............... අමුතු මෝස්තරයක, අලුත් තාලයක පොතකි. පොත ලිවීමේ දි මා තුළ බලපැවැත් වූ ප්‍රධානම ප්‍රතිපත්තිය නම්: සිංහල භාසාවෙන් ලියන මේ පොත, සිංහල රටේ සිංහල මිනිසුන්ට සිංහල පොතක් කියවන්නට පුළුවන් කාටවුවත් කරුණු කොයිතරම් ගැඹුරු වුවද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි............‘ශක්ති‘ ,‘ආශා‘ යන සංස්කෘත වචන දෙක වෙනුවට සිංහල උගතුන් ලියමනේදි පාවිච්චි කරන්නේ ‘ශක්තිය‘, ‘ආශාව‘ යන වචන දෙකයි. ........ඕනෑම සිංහලයකුගේ උසස්ම පණ්ඩිතයකුගේ වුවත්, සිංහල කටකින් නම් මේ වචන දෙක පිටවන්නේ ‘සක්තිය‘  ‘ආසාව‘ යනාදී තාලව්‍ය නොවන ස්වරූපයකිනි. එසේ නම් ලිවීමටත් ඒ සිංහල විලාසයක්ම පාවිච්චි කළොත් කවර වරදක්, කවර අපරාදයක් සිදුවිය හැකිද?............... සිංහල භාසාව පාළි, සංස්කෘත ආදී භාසා මෙන් මළ භාසාවක් ග්‍රන්ථ භාසාවක් නොව, හින්දි ආදී භාසා මෙන් ජීව භාසාවක් ව්‍යවහාර කරන භාසාවක් බව කවුරුත් එක සේම පිළිගනිති. නමුත් අනේ අපොයි අපේ කරුමයක හැටි ! කාගේ කවර වරදක්ද? ! මොන පවක්ද ! කවර කරුමයක්ද! අපේ භාසාව නමින් කෙසෙ වෙතත් ඇත්ත වසයෙන් නම් මැරිලාය. ‘ජීව භාසාවකැ‘ යි කියමනට කියතත්, නිකමට නම්බුවට පිළිගනිතත්, ඒක නම් ජීව භාසාවක් නොවෙයි. මළ භාසාවකි. ජීව භාසාවක් නම් එහි ජීවයක් තිබිය යුතු නේද!
.................. කරුණාකර ටිකක් සිහිය මෙහෙයා බැලිය යුතුයි. අද ලියන සිංහල පොතකත්, එදා අර, පරණ දඹදෙනි අවදියේ දී ලියන ලද සිංහල පොතකත්, භාසාව අතින් ඇති වෙනස කුමක්ද? හැබැයි කතා කරන භාසාවේ නම් වෙනස් වීම, වැඩීම, දියුණව,ප්‍රාණවත් ගතිය පැහැදිලිවම පෙනෙන්ට තිබේ. ............අපේ උසස් උගත් පන්තියේ පණ්ඩිතයන්ගේ පිළිගැනීම “ඒක නිකම්ම නිකම් ගම්මැදි බාසාවක්“ කියාය. නියම සිංහල භාසාවට පොතපතකට තබා කබල් ලියුම් කැබැල්ලකටවත් කිට්ටු වේගන්ට අවසරයක් ලැබී තිබේද !
................අනේ දෙවියනි, මට තියා මගේ ගුරුන්නාන්සේටවත් නෙතේරෙන සිංහලයකුත් අපේ ඇතැම් සිංහල උගතුන් අතර භාවිත වෙයි........ග්‍රන්ථ භාසාවය, කාවිය භාසාවය, ව්‍යවහාර භාසාවය,නෙතේරෙන භාසාවය, යනාදීන් එකම භාසාවක් පිළිබදව නොයෙකුත් භෙද පැවතීම.......... භාසාවේ වැඩීමට දියුන්වට බාධාවක් බව නොකියාම බැරිය.
.............. අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකමං කතා කිරීමේ දී පවා ‘මම යනවා‘, ‘අපි යනවා‘ නොකියා ‘මා යනවා‘ , ‘අපයනවා‘ කියමින් තමන් කතා බහෙනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. .....ඉබේම කියවුනු ‘අපි‘ යන්න නැවත සකස් කොට ‘අප යනවා‘ කියමින් හොඳම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතාම ප්‍රකටය:, මට ද දැක පුරුදය.

.............නානා ව්‍යවහාර භාසාවලින්  විසාල ප්‍රචාරයක් ඇති ප්‍රධානම භාසාවක් නම් ඉංගිරිසියයි. ඉංගිරිසි මිනිස්සු මොනම නිථියකටවත්, මොනම ව්‍යාකරණයකටවත් නැති තමන්ගේ ඒ ගම්මැදි භාසාව ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගෙන...........ලියනවාද පමණක් නොව කථාද පවත්වති..... ‘අයි ගෝ , ‘යූ ගෝ‘  මේ හොඳම ව්‍යාකරණානුකූල ඉංගිරිසිය..... මෙහි ඇති ව්‍යාකරණය කුමක්ද! මෙහි ඇති භාසා රීතිය කුමක්ද! ‘ව්‍යාකරණානුකූලය‘ යි පිළිගැනීම පමණක් නොවේද! ............බැරිකම නිසා හම පමණක් ඉතිරි කරගෙන, හැකි හැම එකකින්ම ඉංගිරිසිය පස්සේම එලවන්ට දඟලන අපේ උගත් සිහංලයන් භාසාව ගැන පමණක් ඒ පස්සේ යන්ට කල්පනා නොකිරීම ඇයි දෙයියනේ! කොයිතරම් කරුමක්කාර කාලකන්නි කමක්ද!
“….පොහොසතා පමණක් නොවෙයි:, කොහොම දේකින් හෝ ඉහල අඩියකට ගිය කොයි සතාත් පාහෙ තරමකටවත් මහසතා වූ හැටියේම, පත පතා ඉන්නේ තමාගේ අගේ වැඩි කර ගැනුම පිණිස, ලොකු කම ආරක්සා කරගැනුම පිණිස අනික් අය සුළු තත්වයේ ම නවතා ගැනිම ගැනය.
-වනකතා පොතේ වනකතා ගැන කතා නම් ඡේදයේ  iv සිට x දක්වා පිටුවලින් උපුටාගන්නා ලදී

මෙහි මුල ඡේදයේ සටහන් කරන ලද පරිදි  එදා උපදේසකයා ඉදිරියේ බුම්මාගෙන වේදනා  විඳින්ට සිදු වූ හේතුව  මේ අන්තිමට උපුටා දැක් වූ කොටසේ යක්කඩුවේ හාමුදුරුවන් පවසන  බව මට ද සිතෙයි.  

Saturday, February 14, 2015

ලියන බසේ පෙරළිය

යක්කඩුවේ හාමුදුරුවෝ 

මේ මහා වියතාණන් වහන්සේ හඳුන්වා දීමට තරම් මා සතු  සුදුසු කම් ප්‍රමාණවත් යයි මට නොසිතේ. ආතා සිය පොත් එකතුවෙන් මට ලබා දුන්  පොත කඩමාල්ලක් බවට පත්ව තිබිණි. වනකතා කෘතිය කෙතරම් අගනේද යන්න වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය. පසුව පොත්
සාප්පු පීරා යමින් මේ පොත නැවත කෙසේ හෝ පළවී ඇද්දැයි සෙවීමි.
එහි යක්කඩුවේ හාමුදුරුවන් හඳුන්වා දෙන මහ වියතුන් මුණ ගැසිණි.
 මේ උපුටනයන් දෙස අවධානය දෙන්න.
“......අපේ යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙබඳු හාමුදුරු නමක්දැයි අලුත් වනකතා පාඨකයන්ට හඳුන්වා දීමට මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන් වහන්සේ ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වමි.
ඉන්දියාවේ ජනාධිපතිව සිටි ආචාර්ය සර්ව පල්ලි රාධ ක්‍රිෂ්ණන් දාර්ශනිකයා රාහුල හිමියන් යක්කඩුවේ හාමාදුරුවන් ගේ කාමරයට කැවාගෙන ගොස් උන්වහන්සේ හඳුන්වා දී “ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් පිරිවෙනේ මේ සියලු ම කටයුතු වල මූලිකයා මුන් වහන්සේ ය” යි කී විට රාධා ක්‍රිෂ්ණන් තුමා “අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ලයි” කියා උන්වහන්සේට නැවත වරක් නමස්කාර කළේය.” මෙසේ පවසන වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණෝ විශිෂ්ට පුවත් පත් කලාවේදී ඩී. බී. ධනපාල ශූරීන් විසින් හිමියන් ගැන ලියන ලද ලිපියක් හකුලවා දක්වන මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන් එහි අන්තර්ගතය පහත සඳහන් ලෙස සම්පිණ්ඩනය කරන බව පෙන්වා දෙති  .
“උන්වහන්සේ මනෝදර්ශනයේ නිර්භයතාව,අධිෂ්ඨානයේ ස්ථිරත්වය,පාණ්ඩිත්‍යයේ අමිතත්වය,හිතේ විස්තාරය,හෘදයේ කාරුණ්‍යය යන මේ ගුණයන්ගේ උදාර මහිමය සාමාන්‍ය නරයන් මවිත කරවයි” (වනකතා 2010 මුද්‍රණයේ iවන පිටුව)

වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ 2010 මුද්‍රණය තුළ මෙසේ ද සටහන් කරති. “අපේ යක්කඩුවේ නායක හාමදුරුවන් වහන්සේ ගේ මුල්ම පොත වනකතාව යි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරු කම් වලින් ගොඩගැනීමට උපකාර වුනේත් මේ වනකතාවයි. වරක් රාජ උදහසට ලක්වුනේත්, තවත් වරක් රාජප්‍රසාදයට ලක්වුනේත් මේ වන කතාවයි. ලියන භාෂාවේත්, කියන භාෂාවේත් පරතරය නැත් කළේත් වනකතාවයි.”
 මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමිපාණන් වහන්සේ විසින් ලියනු ලබන පසු සටහනේ “..........මහජනයාට තේරෙන බසින් පොත් ලිවිය යුතු යයි මෙහි කලක සිට උද්ඝෝෂණයක් පවතී.....ඒ සඳහා අතිශයෙන් යෝග්‍ය මග සොයා ගැනීමෙන් මුල පිරුවේ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිර තුමායයි. කිය යුතුය. මේ පොත් පෙළේ තවත් පොත් අනාගතයේ පළ වන බැවින් මෙය “සාමාන්‍ය මහජනතාවට ලැබුණ සම්පතකැ”යි කිය යුතුය.


මේ පොත මෙතරම් තදින් මා සිත පැහැර ගත්තේ ඇයි ? බ්ලොග් සටහන් කියවන අය  හා ලියන අය ගැන ඇතැම් වියතකු මට දුන් උපදේශයක් නිසා ඇති වූ අධික සිත් පෑරිමෙකිනි. ඉතිරිය මී ළඟ ලිපියට තබමි.

Thursday, February 12, 2015

පොත පිච්චුව කවියක්

ආතා ‍කිව්ව කවිය

මට කොච්චර වාසනාවක්ද ආතා  ඉන්න එක. ආතා හිටපු ගමන් සංස්කෘත ශ්ලෝක හෙමත් කියනවා. හැබැයි ඉතින් පොඩ්ඩ බැරි උනාම බනිනවා. බනින්නෙම අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න ඒව මතක් කර කර. ඕන් ආත මේ පාර කිව්ව කවියක් !

“අපායට  යන්ට ඕනෑ නම් නුඹ                 ට
කරපන් මහ ඇමතිකම එක දවසක           ට
නැත්නම් පන්සලක දේවාලයක සි           ට
අදිපතිකම කරපන් එක දවසක                 ට”

“උඹ දන්නවද කෙල්ලෙ යක්කඩුවෙ හාමුදුරුවො ගැන. උන්නාන්සෙගෙ 
පොත් කියෝල තියනවද ?”
ආතාට පරදින්න මටත් බෑ නේ. “ඔව් මම අහලා තියනව. පොත් කියෝල නං නෑ.”  ආතා පුපුරන්නට විය. “කෙල්ල ආපුගමන් ඒකිව කන්න හදනවා. උඹටත් තාත්තගෙන් බැනුං අහ අහ එතනම දැවටෙන්න ඕනි. දරුවො ඉගෙන ගන්නෙ දැං අලුත් දේවල්. හනමිටි කාලෙ ඒව වගේ නෙමයි” අම්මා මාව බේරගන්නට ඉදිරිපත්වෙයි. 
ආතා නිහඬව නැගිට ගියා. ආතගෙ වටිනාකම මේ ගොල්ලට තේරෙන්නෙ නෑ. මටනං මගෙ ආත මහාචාර්යවරයෙක්.
 “අනේ මගෙ හො ආතා වගේ කියන්න ආපු දේවල් කියන්න. අම්මල කියන ඒව ගණං ගන්න එපා” ආතා නිහව බොහොම පරෙස්සමින් රැක ගන්න “අල්මාරිය” ඇරිය.  
දුංකල මිටියක් වගේ තිබ්බ පුරාණ පොතක් අරන්  දුන්නා. “ඔන්න පොතක් හැබැයි පරෙස්සමින් කියවන්නෙ නැත්තං දැම්මම ආපහු දියං” ආතා මෙච්චර පරෙස්මින් තියාගත්තු පොතක් නොකියව කොහොම ද? යක්කඩු‍වෙ හාමුදුරුවන්ගෙ “වනකතා“. ගත්තු ගමන් කියවන්න උනේ හරිම ආසාවෙන්. ආතා මද සිනාවෙන් යුතුව මා දෙස බලා හිඳී.
ඇයි දෙයියනේ ඇයි ආතෙ  උසස්පෙළ කරද්දිවත් මේ පොත්  නුදුන්නෙ ? මා ඇසුවේ වේදනාවෙන්
මයෙ රත්තරං පුතේ උඹට තමයි මේව පරෙස්සමින් තියා තිව්වෙ. මං දෙන පොත් කියවන්න වෙලා  බැරිවෙලාවත්  ඔය තරගෙට කොරන විබාගෙ පේල් උනොත්, උඹේ මහ එවුවංගෙ මට විසුමක් වෙන එකක් නෑ. දැං ඉතින් කියවපන් මයෙ පුතා කියවල හැදියං”

ආත ඉගෙන ගන්න කාලෙ මේ කවිය පුදුම පෙරළිය ක් කළ එකක් ! උනාලු. මහ ඇමතිට අපහාස වෙන නිසා  පොත අනුමත කරපු කොමිටියත් අවලංගු කරල  පොතත් තහනම් කරල හැම පොතක්ම  පුච්චල දැම්මලු. ආත කිව්ව මේ පුවත ඊටත් වඩා රසවත් විදිහට පස්සෙ අච්චුගහපු පොතේ යක්කඩුවෙ හාමුදුරුවො විස්තර කරනව. ඒ විස්තර මී ළඟ ලිපියෙ කියන්නම්.  
මේ පොත අලුතෙන් අච්චුගහල තියනව. මෙහි මහ ඇමති කියන්නෙ එකල ආණ්ඩුවේ සිටි ඇමතිවරුන්ට යක්කඩුවෙ හාමදුරුවන්ගෙ කාලෙ පළාත් මහ ඇමතිවරු ඉඳල නෑ.
ආත කියන්නෙ “යක්කඩුවෙ හාමුදුරුවො දැං නැති හන්ද හොඳ ලූ“. හිටිය නං දැන් ඉන්න අය දැකල උන්නාන්සෙ පොත් ලියන එක පැත්තක තියල බෙල්ලෙ වැල දාගනී ලු.
වටිනා "මහත්මා දේශපාලයක්" කළ බව කියවෙන ඒ කාලෙත්  එහෙම පෙනුන නං  දැන් ඉන්න අය ගැන කියනුම කවරේද ?
“යහ පාලනය අනේ මන්ද වචන දෙක නං අගෙයි. මේ අය ඡන්දෙට ඉස්සෙල්  ආත කිව්ව වගේ "කටින් බතල හිටෙව්ව"ද දන් නෑ. කියල මේ පොත බලද්දි මටත් සිතෙන්න උනා.
වනකතා පොත නැවතත් පොත් සාප්පු වලින් ගන්න පුළුවන්.   හැකි අය අරන් බලන්නකෝ.[i]





[i] වනකතා මිතුරන් කෙටවීම- වනකතා පොත් අංක 1 -යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන්-විද්‍යාලංකාර ප්‍රකාශනයකි 2012