සිද්ද වෙන සේවයක් නෑ.
“සිංහලෙන් බ්ලොග් ලියන එවුවන්ගෙන් සිද්ද
වෙන මහ ලොකු සේවයක් නෑ. හැම එකේම වගේ අපේ සිංහල
භාෂාව මරණවා. අක්ෂර වින්‍යාසය විතරක් නෙමෙයි. වචනත් විකෘති කරනවා. ලියන්නෙ "ගමේ ගොඩේ, පේමන්ට් එකේ කතාකරන" භාෂාව. ඒව නොකියවන
එක හොඳයි තේරුනා නේද ?”. මගේ උපදේශකයා අවධාරණය කළේ
භාෂාවට සිදුවෙන හානිය ගැනය. මං වගේ ඇටිකිච්චන් කෙල්ලෙක් මොනව
කරන්න ද ! බලෙන් පැටවූ උපදේශය ගැන මට තිබුණෙ විශාල සැකයක්. ඒක නැතිවුනේම නෑ.
මම කියන දේ අනෙකාට තේරෙනව නං ඊට වඩා තියන ව්‍යාකරණය මොකද්ද ! ලියන්න විතරක් පොදුවේ පාවිච්චි වෙන්නැති නැති භාෂාවක් යොදාගන්නෙ ඇයි ? ඔය මට තිබ්බ ගැටළුව. මම පණ්ඩිතයෙක් නෙමෙයි හින්ද ඒ බුම්මගෙන ඉන්නව
ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.
ඔය අතරෙදි තමයි ආතගෙන් අමුතු පොතක්
ලැබුණෙ. ඒ වනකතාව. ඒක කියවද්දි තමයි යක්කඩුවෙ ප්‍රඥාරාම නම් වූ මහ වියතා හමු වුනේ. මොනතරම් වාසනවක්ද ?
පණ ඇති හෙවත් ජීව භාෂාව ගැන “වනකතා ගැන කතා“ යනුවෙන් ලියන හැඳින්වීමෙදි කදිම විස්තර තියනවා. ඒ අතරින්
උපුටාගත් කොටස් කීපයකි මේ. (ලිපිය දිග වැඩිවීම වලක්වා ගන්නයි මේ විදිහට කෑලි කෑලි ගත්තෙ).
“............... අමුතු මෝස්තරයක, අලුත් තාලයක පොතකි. පොත ලිවීමේ දි මා තුළ බලපැවැත් වූ ප්‍රධානම ප්‍රතිපත්තිය
නම්: සිංහල භාසාවෙන් ලියන මේ පොත, සිංහල රටේ සිංහල මිනිසුන්ට සිංහල පොතක්
කියවන්නට පුළුවන් කාටවුවත් කරුණු කොයිතරම් ගැඹුරු වුවද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්
වන පරිද්දෙන් ලිවීමයි............‘ශක්ති‘ ,‘ආශා‘ යන සංස්කෘත වචන දෙක වෙනුවට සිංහල උගතුන් ලියමනේදි
පාවිච්චි කරන්නේ ‘ශක්තිය‘, ‘ආශාව‘ යන වචන දෙකයි. ........ඕනෑම සිංහලයකුගේ උසස්ම
පණ්ඩිතයකුගේ වුවත්, සිංහල කටකින් නම් මේ වචන දෙක පිටවන්නේ ‘සක්තිය‘ ‘ආසාව‘ යනාදී තාලව්‍ය නොවන ස්වරූපයකිනි. එසේ
නම් ලිවීමටත් ඒ සිංහල විලාසයක්ම පාවිච්චි කළොත් කවර වරදක්, කවර අපරාදයක් සිදුවිය
හැකිද?............... සිංහල භාසාව පාළි, සංස්කෘත ආදී භාසා මෙන් මළ භාසාවක් ග්‍රන්ථ
භාසාවක් නොව, හින්දි ආදී භාසා මෙන් ජීව භාසාවක් ව්‍යවහාර කරන භාසාවක් බව කවුරුත්
එක සේම පිළිගනිති. නමුත් අනේ අපොයි අපේ කරුමයක හැටි ! කාගේ කවර වරදක්ද? ! මොන
පවක්ද ! කවර කරුමයක්ද! අපේ භාසාව නමින් කෙසෙ වෙතත් ඇත්ත වසයෙන් නම් මැරිලාය. ‘ජීව
භාසාවකැ‘ යි කියමනට කියතත්, නිකමට නම්බුවට පිළිගනිතත්, ඒක නම් ජීව භාසාවක් නොවෙයි.
මළ භාසාවකි. ජීව භාසාවක් නම් එහි ජීවයක් තිබිය යුතු නේද!”
“.................. කරුණාකර ටිකක් සිහිය මෙහෙයා
බැලිය යුතුයි. අද ලියන සිංහල පොතකත්, එදා අර, පරණ දඹදෙනි අවදියේ දී ලියන ලද සිංහල
පොතකත්, භාසාව අතින් ඇති වෙනස කුමක්ද? හැබැයි කතා කරන භාසාවේ නම් වෙනස් වීම,
වැඩීම, දියුණව,ප්‍රාණවත් ගතිය පැහැදිලිවම පෙනෙන්ට තිබේ. ............අපේ උසස් උගත්
පන්තියේ පණ්ඩිතයන්ගේ පිළිගැනීම “ඒක නිකම්ම නිකම් ගම්මැදි බාසාවක්“ කියාය. නියම
සිංහල භාසාවට පොතපතකට තබා කබල් ලියුම් කැබැල්ලකටවත් කිට්ටු වේගන්ට අවසරයක් ලැබී
තිබේද !”
“................අනේ දෙවියනි, මට තියා මගේ
ගුරුන්නාන්සේටවත් නෙතේරෙන සිංහලයකුත් අපේ ඇතැම් සිංහල උගතුන් අතර භාවිත
වෙයි........ග්‍රන්ථ භාසාවය, කාවිය භාසාවය, ව්‍යවහාර භාසාවය,නෙතේරෙන භාසාවය,
යනාදීන් එකම භාසාවක් පිළිබදව නොයෙකුත් භෙද පැවතීම.......... භාසාවේ වැඩීමට
දියුන්වට බාධාවක් බව නොකියාම බැරිය.”
“.............. අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී
පමණක් නොව, නිකමං කතා කිරීමේ දී පවා ‘මම යනවා‘, ‘අපි යනවා‘ නොකියා ‘මා යනවා‘ ,
‘අපයනවා‘ කියමින් තමන් කතා බහෙනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව
ඇඟවීමට උත්සාහ කරති. .....ඉබේම කියවුනු ‘අපි‘ යන්න නැවත සකස් කොට ‘අප යනවා‘
කියමින් හොඳම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතාම ප්‍රකටය:, මට
ද දැක පුරුදය.”
“.............නානා ව්‍යවහාර භාසාවලින් විසාල ප්‍රචාරයක් ඇති ප්‍රධානම භාසාවක් නම්
ඉංගිරිසියයි. ඉංගිරිසි මිනිස්සු මොනම නිථියකටවත්, මොනම ව්‍යාකරණයකටවත් නැති තමන්ගේ
ඒ ගම්මැදි භාසාව ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගෙන...........ලියනවාද පමණක් නොව කථාද
පවත්වති..... ‘අයි ගෝ , ‘යූ ගෝ‘ මේ හොඳම
ව්‍යාකරණානුකූල ඉංගිරිසිය..... මෙහි ඇති ව්‍යාකරණය කුමක්ද! මෙහි ඇති භාසා රීතිය
කුමක්ද! ‘ව්‍යාකරණානුකූලය‘ යි පිළිගැනීම පමණක් නොවේද! ............බැරිකම නිසා හම
පමණක් ඉතිරි කරගෙන, හැකි හැම එකකින්ම ඉංගිරිසිය පස්සේම එලවන්ට දඟලන අපේ උගත්
සිහංලයන් භාසාව ගැන පමණක් ඒ පස්සේ යන්ට කල්පනා නොකිරීම ඇයි දෙයියනේ! කොයිතරම්
කරුමක්කාර කාලකන්නි කමක්ද!”
“….පොහොසතා පමණක් නොවෙයි:, කොහොම දේකින් හෝ ඉහල
අඩියකට ගිය කොයි සතාත් පාහෙ තරමකටවත් මහසතා වූ හැටියේම, පත පතා ඉන්නේ තමාගේ අගේ
වැඩි කර ගැනුම පිණිස, ලොකු කම ආරක්සා කරගැනුම පිණිස අනික් අය සුළු තත්වයේ ම නවතා
ගැනිම ගැනය.”
-වනකතා පොතේ වනකතා ගැන කතා නම් ඡේදයේ iv සිට x දක්වා පිටුවලින් උපුටාගන්නා ලදී
මෙහි මුල ඡේදයේ සටහන් කරන ලද පරිදි එදා උපදේසකයා
ඉදිරියේ බුම්මාගෙන වේදනා විඳින්ට සිදු වූ හේතුව මේ අන්තිමට
උපුටා දැක් වූ කොටසේ යක්කඩුවේ හාමුදුරුවන් පවසන බව මට ද සිතෙයි.