Saturday, June 13, 2015

මං හූන කියන්නැහේ කිව්ව නෙව

මතකද උඹට

"මීට ඉස්සෙල්ල ඉඳල මුං පොරජාතන්නතරවාදෙ කොරන්න හදන හැටි කිව්ව නේද ? //මං කොරනවා// කියල තමයි ඒ කාලෙ ජේ.ආර්. ලොක්ක පටන් ගත්තෙ. එයා කොළා තමයි; ඊට පස්සෙ ඒකට මනාපෙකුත් ඈඳගෙන අනෙක් එව්වො   හොඳටම කොළා.
මේක ගත්තෙ අන්තර්ජාලය පීරලා රුවන් එම් ජයතුංගයන්ගේ ලිපියකින්

ඒ පාර නං ආතට හොඳටම තදවෙලා. එයාට ඩිමෙන්ෂියා රෝගෙ දැයි හිත දුකෙන් හිටියෙ. මෙන්න බොලේ ඉස්සර කිව්ව ඒව මතක් කරනව.ආතා කියන්නෙ මේ ලිපිය ගැන වෙන්න ඕන 

"මිනිස්සු රට ඇරල යන්න පටන් ගත්ත. ඉතිරිවෙලා ඉන්න ඉගෙන ගත්තු එව්වො මුං කාටවත් පේන්න බෑ. විස්ස විද්‍යාෙලට යන එව්වො එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ. ඒක මතුපිටින් පෙන්නන්නැත්තෙ පෙරපසුගාමියොයි, ජෙප්පොයි. උන් අලුත් කොල්ලො කෙල්ලො වල පල්ලටම ඇද ගෙන යන්න පැලෑන් කරනව. සේරම මරාදාන්න බැරිවුනත් සේරගෙම අවරුදු තුනේ උපාධියට අවුරුදු පහක් විතර යන්ඩ වැඩ හරිගස්සනව.

පෙරපසුගාමියොත් 20 ට විරුද්ධ ලු. ජෙප්පනුත් විරුද්ද බව නොකියා කියනව. උන්ට විරුද්ධයි කියල හරි පක්ෂයි කියල හරි කෙලින් කියාගන්න බෑ. 

කොච්චර විකාර අපබ්‍රන්ස කියෙව්වත් මොකද මන්ද නලින් උන්නැහැ අද කියල තියනව 20 මේ පාරම කිරියාත්මක කරන්න කියල . බලමු කොරයිද කියල.
19 වත් 20 වත් සම්මත කොලාලු.  ඒත් කිරියාත්මක කරනවා නං බොරු! හෙට අනිද්දා ඉඳලම සල්ලි වපුරගෙන මිනී මරාගෙන අහිංසකයන්ගේ මනාපෙ ගන්න ලැහැත්ති වේවි.

මං අරයට ; අරයත් එක්ක මං ;  කියල ලයිට් කණුවක් ගානෙ මේ පැත්තෙ පෝස්ටර් අලවන්ඩ දැම්ම ම පටන් අරන් නෙවද  " 


එක අතකට අපි සේරම හරක් නෙව. ඔය මොක මොකාට හරි ගහල ආයෙත් රැවටෙන්ඩ බැරියැ.
ආත හොඳටම කලකිරිල ! අපේක්ෂා භංගවෙලා !! හීනමානෙ හින්ද හැමෝටම වෛර කරනවා !!!

Friday, June 12, 2015

මදෑ කොලා

කාලෙකට පස්සෙ  ආත කියවන්න ගත්ත.


‍මේක ඇතුලෙ මොනව වෙනවද මන්ද !

මේ පින්තූරය dinamina.lk එකෙන්

19 සම්මත කළා. 

හැබැයි ඒක කිරියා කරවන්නෙ නැති එකක්. ! තවම වියවස්තා සබාව පත් කරල නෑ. තටමල ඒක පත් කරගත්තත් අනික් කොමිසං පත් කරන්න ගිහින් ගහබැන ගෙන කල්දමාවි


 20 ගේනවලු. 

ඒක සම්මත කෙරුවත් කිරියා කරන්නේ මේ පාර නෙවෙයි .  ඊ ළඟ පාරලු. !!


මේ පාරත් මනාප බලුපොරේ එහෙමම තියනවලු හොඳ බුද්දිමත්තු ටිකකුයි ආචාරිය උපාධි ගත්තු ටිකකුයි රට කරවන්න ඒවි.

මට පේන්නේ දේසපාලකයො විතරක් නෙමෙයි  මාද්දිය කාරයොත්  එකතු වෙලා අපිව ගොනාට අන්දවනව වගේ. දේසපාලන වැඩසටහන් කියල ඔය රූප පෙට්ටියෙ කරන්නෙත් මාද්දිය කාරයොත් පණ්ඩිතයො හැදිල උංගෙ ඇජන්ඩාවට අපිව ගන්න හදන එක නේ. උනුත් ගහන්නේ ඩීල් එකක්. බලමුකො විසිරෙව්වම. උනුත් ඒවි මනාප පොරේට. සන්නස්ගල උන්නැහැනං දැම්මම ඇවිත්. 

ගිය වාරෙ චන්දේ දීල කසාය බීපු ගොළුවො වගේ ඉන්න හුඟක් එව්වො

මොනවත් කර කියාගන්න බැරුව විරිත්තගෙන බලා ඉන්නව .

Thursday, May 14, 2015

ගුරුතුමා හඬා වැටෙයි

ඇයි මේ ?

හදිසියේ මුණ ගැසුන ගුරුතුමා  මහත් වේදනාවකින් පසුතැවිල්ලෙන් හඬාවැටෙමින් සිටින බවත් දක්නට ලැබිණි. මේ ඔහු මුවින් පිට වූ වදන් කීපයකි. 

එදා මම
ඔවුන් නොදත් දේ ඔවුන්ට කියා දුනිමි
අකුරු හැඩයට ලියා වැකි ගොඩනගන්නට
පරුදු කළෙමි
සංඛ්‍යා පෙළ ගස්වා ඒවායින් විජ්ජා ද දක්වන්නට
හුරු කළෙමි

අද ඔවුහු
භාෂාව යොදා ගනිමින් සමාජය භේද භින්න කර
ගිනි අවුලවති
සංඛ්‍යා වලින් හරඹ දක්වමින්
ජනතාව මුලා කරමින්
ඔවුහුම තර වෙති

මා කළයුතුව තිබුණේ
භාෂාව හා සංඛ්‍යා ඉගැන්වීම නොව
මගේ දිවිපැවැත්ම තුළින්ම
චිත්තවේග ජය ගැනීමට උගන්වා
අවංකත්වය, කරුණාව හා මෛත්‍රිය
ඔවුන් තුළ රෝපණය කිරීම බව
මට දැන් ඒත්තුගොස් ඇත.

නිර්මාණය උපුටා ගත්තෙ විල්ප්‍රඩ් ජේ පෙරේරා ගේ  "අසම සම" කෘතියෙන් බව ස්තුති පූර්වකව සටහන් කරමි. එය කර්තෘ ප්‍රකාශනයක් (විල්ප්‍රඩ් ජේ පෙරේරා- දැනට වසර දෙකකට පමණ පෙර ජීවිතයෙන් සමුගත් විශිෂ්ට අධ්‍යාපනඥයෙකි. )

මාතලන්ගෙ මේ ලිපිය තියන විස්තර  කියෙවුවාම අදාල අයට ඉගැන්වූ ගුරුවරුන් වැලපෙනවා ඇත්තේ ඒ විදිහටයි සිතෙනවා. විමතියක් ඇති වෙනව නං ඒ ලිපිය  බලන්න ඇයි මේ ගුරුවරු වැලපුනේ කියල හොඳට තේරුම් යාවි. 

Wednesday, May 13, 2015

අනුවේදනීය ලිපියක්


අධ්‍යාපනය ගැන මට සැකයි.

පසුගිය දින කීපයේ ගිය ප්‍රවෘත්ති හමුවේ අසරණව සිටියෙමි. ප්‍රශ්න
කිරීම්වලට ලක්වන දේශපාලකයන් පවසන දේට වඩා වේදනාවක් ඇති වුනේ උගතකු ගැන කියවුන පුවතකින්. උගතුන් වැරදි කරා කියල පැමිණිලි ආවම ප්‍රශ්න කරන්නවත් හොඳ නැද්ද ? කියල මට තෝරගන්න බැරුව අන්ත අසරණියක් බවට පත් වුනා. 
හැටලක්ෂයක් යුදෙව්වන් මරා දමාපු  හිට්ලර්ගේ සිර කඳවුරකින්, යන්තමින් බේරී පැමිණියකු ලියන ලද ඉතාම අනුවේදනීය ලිපියක් තියනව.  මේ ඓතිහාසික ලිපිය බොහෝ දෙනකු දන්නා බව නිසැකැයි. ඒත් නැවතත් එය මතක් කරන්න හොඳ වෙලාවක් මේ කියල හිතුන. පහතින් උපුටා දක්වා තියෙන්නෙ එහි කොටසක්. (පින්තූරය උපුටා ගත්තෙ අන්තර්ජාලයෙන්)

"ගුරුතුමනි,
  මම
  සිරකඳවුරකින් මරණයෙන් බේරී පැමිණියෙක්මි.
  කිසිදු හෝ මිනිස් දෙනෙතකින් නොදැකිය යුතු දේ එහිදී 
  නැරඹුවෙමි.
  එහි
  මිනිසුන් මරණයට ඇද දමන
  ගෑස් කාමර මනාව තනන ලද්දේ
  උගත් ඉංජිනේරුවන් විසිනි

උගත් වෛද්‍යවරුන් විසින්
ළමයින්ට වස පොවන ලදී

  පුහුණු හෙදියන් විසින්
  ළදරුවන් මරාදමන ලදී

උපාධි ධාරී විද්‍යාර්ථීන් විසින්
කාන්තාවන් හා කුඩා දරුවන් පුළුස්සා මරන ලදී

  මේවා දුටු මම අධ්‍යාපනය ගැන සැක සංකා ඇති කර ගතිමි........."

මේ ලිපිය කියෙව්වම මගේ හිත්වේදනාව ඩිංගක් අඩු වුනා.  ඔය ලිපියට  පස්සෙවත්  අපේ අධ්‍යාපනය වෙනස් වෙලා නැති බව ඊයෙ පෙරේද  දැක්ක ප්‍රවෘත්ති අනුව තහවුරු වුනා. දැනට අඩු හිට්ලර් කෙනෙක් විතරයි  හිට්ලර් පහළ වුන ගමන් එයාට ගැලපෙන්න උගත්තු අපේ රටේ ඉන්නවා

Tuesday, May 12, 2015

පුරවැසි අධ්‍යාපනය කෙසේ විය යුතුද

ඉස්කෝල පොතේ නැති යහගුණ ධර්ම

ආතා හාන්සි පුටුවෙ ඉන්න ගමන් හදිස්සියෙම කතා කළා
"කෙල්ලේ මේ මං කියන ඒවා පුරවැසි පුහුණුව විෂය ගැන ඉස්කෝල පොත්වලට ඇතුළු කරල තිබුණ
නම් රටේ මෙච්චර පුරස්න ඇති වෙන්නේ නෑනේ. ඒහින්ද කියාපල්ල මේවත් ඇතුලත් කරන්න කියල"
ආත කිව්ව හෑලිටික කෙටිකරල ලියල මේව නේද ඇහුව.  තවත් ඇතුළු කරන්න දේවල තියනව නම් අනෙක් අය ලියයි ඒක හින්ද දැම්ම උඩුගන්නපං කිව්ව. මේව පුරුවැසි අධ්‍යාපනය පොත් වලට හොඳයි නේද ? ඔබේ අදහසුත් එකතු කරල පොත් ලියන මණ්ඩලේට යවන්නං ඒ හින්ද යෝජනා එවන්න. පින්තූරය ගත්තෙ අන්තර්ජාලයෙන්

  1.  දේශපාලන ලොක්කන්  සුළු සුළු  වැරදි කළාට කමක්න
  2. උගතුන්ටත් සුළු වැරදි කරන්න වරප්‍රසාද තියෙන්න ඕන.
  3.  සතොසෙන් ලක්ෂ ගාණක වුනත් බඩු ණයට ගන්න පුළුවන්. ගෙවන්න පමා වුනාට කමකුත් නෑ. 
  4. චෝදනා කරල අත්අඩංගුවට ගත්තම ලැජ්ජවෙන්න, මූණ හංගන්න ඕන නෑ.  මාංචු දාපු අත් උස්සල පෙන්නල “යහපාලනේ“ කිව්වම වීරවරයෙක් වෙනවා.
  5. මිනී මැරීම, හොරකම් කිරීම, අතයටින් ගැනීම කොන්ත්‍රාත් වලින් කොමිස් ගැනීම  කියන්නේ සූර වීර ක්‍රියාවල්. 
  6. මන්ත්‍රී කෙනෙක් වුන  එකාට  පස්වෙනි වගන්තියේ තියන දේවල් කරන්න පුළුවන් ඇමති කෙනෙක් නං ඊටත් වඩා දේවල් කරන්න පුළුවන්
  7. අඩුම ගානේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න බැරි කෙනෙක් මේව කළොත් ඒව හිරේ විලංගුවේ දමන්න හරි මරා දමන්න වෙන බරපතල් වැරදි.

Saturday, May 2, 2015

ඔන්න කොල්ලනේ කෙල්ලන‍ේ පොරජාතන්තර වාදය

දැංවත් තේරුං ගන්ඩ බලාපල්ල

ඊයේ සිරස රූපවාහිනියෙ තිබුණ සටන සංවාදය දිහා බලාගෙන හිටියෙ ආතා විතරයි.  ආත ඒ වැඩසටහනෙන්  කියාදුන්න පාඩම ගැන කෙටියෙන් කිව්වෙ ඔච්චරයි.
අහනකොට ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කිය කියා බැන බැන විස්තර කියාදුන්නේ මෙන්න මෙහෙමයි 
ලංකාවට හොඳම මැතිවරණ ක්‍රමය වඩාම සුදුසුම විදිහ මේ තියන විදිහමයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නෙ ඒ විදිහෙන්මයි කියල ආපු පණ්ඩිත දේශපාලකයො හතර දෙනාම පෙන්නල දුන්න. 
නරක මිනිස්සු කවුන්සලේට ආවෙ පක්ෂ නායකයො ඒවගේ අය ලැයිස්තුවට දාපු හින් දයි අපි චන්දේ දුන්න හින්දයි. 
ඒ හින්ද අපිට (මහජනයාට) තමයි මෙච්චර කල් සිද්ද වෙච්ච ඔක්කොම වැරදි වලට වග කියන්න වෙලා තියෙන්නෙ. උසාවියට ගෙනියනව නං අපිවයි ගෙනියන්න ඕන.
මීට පස්සෙ ඒ ගොල්ලන්ගෙ(ආපු හරතර දෙනාගෙ) පක්ෂ නායකයන්ට බල කරන්නලු එහෙම අයට නාම යෝජනා දෙන්න එපා කියල. බැරිවෙලා හරි එහෙම අයට නාම යෝජනා දීල තිබුණොත් ඒය මගෑරල මනාප දෙන්න ලු 
එතකොට ඔක්කොම හරි යාවි. දැංවත් තේරුනාද ?


Wednesday, April 29, 2015

මෙහෙම පුදුමයක්

19 ? ඔන්න බලාපං වෙන දේ


මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.

අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට  හිතෙන, ඇඟට දැනෙන  ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද  නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත්  අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.

“19 ? ඔන්න බලාපං ඕක  කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස  කට උත්තර නැතුව ගියා.

පක්ෂයි ! පක්ෂයි! පක්ෂයි! පක්ෂයි..................................................................................................
අහවල් එක දාපු හින්ද පක්ෂයි! (රටෙන් නැත්තටම නැතිවෙන්ඩ අතුගෑවෙන හින්ද පක්ෂයි) 


පිට කොන්ද ඇතුව මම විරුද්දයි කියල කියන්න  හිටියෙ එකයි. ඌට මම නං කැමති උගේ මතය එක්ක එකතුවෙන හින්ද නෙමෙයි. හිතට එකඟව කතා කරපු  හන්ද.

 “පුරාවස්තු  අරන් කෑවට කමක් නෑ කියපු චක්‍රවර්ති වගේ එව්වංට රෙදි ඇඳගෙන ඉන්න බැරි හින්ද පැත්ත පළාතෙ ආවෙ නෑ.


“මයිත්‍රි කියන්නේ නිකං නෝන්ජලයෙක් කියල ටිකදවසක් යද්දි මටත් හිතුනෙ . නෑ කෙලේලෙ මේන්න බලාපං ඒ හැටි බක්කක් නොවුනත් උන්නැහැ කරන්න පුළුවන් හරිය  කොළා. අනෙක් පැත්තට කරපු හරිය පුංචි දේකුත් නෙමෙයි.


මෙහෙම පුදුමයක් ඇතිවෙයි කියල මාත් හිතුවෙ නෑ. “දැං උඹට ඕන දෙයක් ලියාපං“. ආත කිව්ව ටික විතරක් ලිව්වහම ඇතිය කියල මට හිතුනා

Saturday, March 7, 2015

අද අපේ දවසයි

කාන්තා දිනය

අද දවසට අපේ දවසය කිව්වෙ කාන්තා දිනය විදිහට වෙන් කරල තියන
හින්දයි. “අම්මා“ පදවිය ලබා ඇත්තේ කාන්තාවකි. ඇය සොයමින් ඇවිද ගියෙමි.  අප්‍රකට චිත්‍රශිල්පියෙක් වුවත් දයානන්ද වික්‍රමසිංහයන් මසිත සටහන් වී ඇත්තේ බිම හිඳ ගෙන, කුණු බක්කියකට හේත්තු වී පිටට වාරු ගෙන දරුවාට මව් කිරි දෙන කාන්තා රුවක් සිත්තමට නගා තිබෙනු දැකීමෙනි. එය නම් කර තිබුණේ   කුණු බාල්දියට පිට දී බුදු බව පැතීමවගේ වැකි පෙළක්  බවයි මතකය.  

ගෝර්කි  පෙන්වා දුන් අම්මා, සන්නස්ගලයන්ගේ අම්මා, නැපෝලියන්ගේ අම්මා වැනි අනේකවිධ අම්මාවරුන් හමු විය. කිතුතුමන්ගේ මව මෙන්ම සිදුහත් මව ද දිටිමි.
තවත් වෙනස්ම අම්මාවරුන් රාශියක් ලාංකීය පැරණි සමාජයේ සෑම පෙදෙසකම හමුවේ. ඔවුහු අදත් වැඳුම් පිදුම් ලබති. ප්‍රධාන වශයෙන් අම්මාවරු හත්දෙනෙකි. කිරි අම්මා දානය ට වැඩමවන්නේ හත්දෙනෙකි. තවත් විටෙක සත් පත්තිනි හා දොලොස්
පත්තිනි වශයෙන් ද පිදුම් ලබන්නීය. මුළු රටපුරාම තම අසීමිත බලය එකසේ පතුරවන දෙවියන්  වන්නේ පත්තිනි අම්මා දෙවියන් ය. ඒ කාන්තා දෙවි කෙනෙකි. ඊට සම කළ හැකි පිරිමි දෙවිකෙනෙකු ලංකා සමාජයේ හමු නොවේ. දෙවි වරුන් අතර සම තැනක් නොව අතිවිශේෂ තැනක් ඇය ලබා තිබිණි.

අපේ රටේ කාන්තා අයිතිවාසිකම්.

ලාංකික කාන්තාවෝ සමතැන් ඉල්ලති. තමන්ට කාන්තා අයිතීන් නැතැයි අරගලයට සැරසෙමින් ඉල්ලා උද්ඝෝෂණ කරති. මේ ලාංකික කාන්තා හඬතුළ ක්‍රියාත්මක වන ඇතැම් දෑ අතර තෝරාගන්නට අපහසු තැන් රාශියකි. කාන්තා අයිතීන් ඉල්ලීම
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු  ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
ආතා මොකක්ද හිතන්නේ කාන්තා අයිතින් ඉල්ලීම  ගැන ?
ඒක හරියටම හාමුදුරුවරු ඡන්දෙට ඇවිත් තමන්ට බලය ඉල්ලනවා වගේ ඔන්න  එකවරටම කිව්ව දේ.
ඒ උපමාව  පැහැදිලි මදි නේ !
හොඳයි අහගනිං හාමුදරුවො කියන්නේ ගිහි අපට ඉහළින් ඉන්න පිරිසක් ! සිවුරත් ඇඳගෙන ඡන්දෙට ආවා කියන්නේ විහින් පහළට ඇද වැටීමක් නෙවෙයි ද, මෙතෙක්  තිබ්බ ගෞරවය නැති කර ගැනීමක් නෙවෙයි ද?
ලංකාවෙ ගෑණු උඹලත් එහෙම තමා. සමාජෙ ඉන්නෙ බොහොම විශේෂ තැනක ! ඒක උඹලටත් අමතක වෙලා. මේ බලාපං ගෙදෙද්දි අම්මා කාටත් ප්‍රධානිය. එයාතමයි අපි ඔක්කොටම අණ දෙන්නෙ, පාලනය කරන්නෙ. හොඳයි බොරුද කියාපං. අම්ම ගෙදර නැති වෙලාවට උඹත් ඒකට ලැහැත්තිවෙන්නෙ නැද්ද කියාපං.
"උඹලගේ අම්මත් කාන්තා සංවිධානෙකට ගිහින් ආවට පස්සෙ මම  කිව්ව ඇත්ත තමයි දුවේ කාන්තාවන්ට සමතැන් දෙන්න ඕන. ඔය තැං තැංවල තියන කාන්තාවන්ට පමණයි කියන බෝඩ් ගලවල දාන්න ඕන කියල"

ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?


මේ විදිහට ගියොත් අනාගත සන්නස්ගල ලා අම්මා මොන විදිහට හැඩ ගන්වාවිද ? නොදන්නා අතීතයක නොදන්නා කලා කරුවා නිම කළ පල්ලියේ දේවමාතාව දේවාලයේ පත්තිනි මාතාව තුළින් පිළිබිඹු කරන්නට තැත්කළ අසිරිමත් කාන්තා සංකල්පය.....?

ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි. 

Thursday, February 19, 2015

පොතේ දසාව නරක්වූ හැටි

වනකතාව තහනම් වීමේ හේතුව

මේ ලිපිය පොත පිච්චුව කවියක් , ලියන බසේ පෙරළිය  සහ  බලෙන් පැට වූ උපදේශය ට පසුව ලියවෙන  ලිපිය බව සලකන්න. හොඳින් තේරුම් ගැනීම පිණිස එම ලිපි තුන පලමුව කියවීම වඩා ප්‍රයෝජනවත් වෙයි. 


පඤ්චතන්ත්‍රයේ එක්තරා  ශ්ලෝකයක් නොතිබුණා නම් යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතාව පොතටත්,  එවක පැවති  ජ්‍යෙෂ්ඨ විභාගයට එය සුදුසු යයි අනුමත කළ කමිටුවටත් යහතින් ඉන්නට හැකිව තිබිණි.
එකල මෙකල මෙන් පාසල් සඳහා පොත් ලියන මණ්ඩලයක් නොවීය. ඒ වෙනුවට  විවිධ ලේඛකයන් හා විද්වතුන් විසින් ලියනු ලබන පොත් අතරින් පාසලට සුදුසු පෙළ පොත් මොනවාදැයි සොයා බලා
අනුමත කරන පිළිගත් විද්වතුන්ගෙන් සැදි කමිටු පිහිටුවා තිබූ බව පෙනේ. මේ අවදියේ සිංහල භාෂාව සඳහා වූ  කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය (සිංහල පිළිබඳ මහාචාර්ය) මහාචාර්ය ගුණපාල මලලසේකර(එවකට පාලි මහාචාර්ය) සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුර ලබා සිටි ඊ.ආර්. එරත්න මහතා යන අය වෙති.


ඔවහු වනතකතා පොත ජ්‍යෙෂ්ඨ විභාගයට සුදුසු බවට ඒකමතිකව සම්මත
කර ඇත. මේ ඒ සමගම ඇති වූ තත්වය යක්කඩුවේ හිමියන් පෙන්වන්නේ පහත උපුටනයේ දැක්වෙන ආකාරයෙනි.
“........එපමණකි.දසාව නරක්විය. විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්මට කැමැත්තක් නැතුව සිටි ඇමැත්තන්ලා, මහ ඇමැත්තයාගේ ද නියමයෙන්
ඔවුන්ගේ ඇබිත්තයන්ද සහාය කරගනෙ, වනකතාවේ අකුරක් තියා, එහි යොදා තිබුණු ඉරක්වත් තේරුම්ගත නොහැකි ඩිරැක්ටර් තුමාගේ මාර්ගයෙන් එය තහනම් කළහ“.[1]

මහ ඇමතිතුමා අපහසුවට පත්වන බව නිගමනයක් ගෙන මේ පොතේ තහනමට හේතුව වී ඇත්තේ පහතින් දක්වා ඇති ශ්ලෝකයේ පරිවර්තනයයි. ඒ මෙසේය.

නරකාය මතිස්තේ චෙත් පෞරොහිත්‍යං සමාචර
වර්ෂං යාවත් කිමන්‍යෙන මඨචින්තාං දිනත්‍රයම් [2]

යන්නය. එය පඤ්චතන්ත්‍රයේ එන ශ්ලෝකයකි. එය එලෙසම කවියක් බවට පත්කරන විට පහත ආකාර ගන්නා බව හිමියෝ පවසති.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් පුරෝහිත කම අවුරුද්දක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[3]

පඤ්චතන්ත්‍රය වර්තමානයේ ලියවුනක් නොවන බැවින්  ඒ අදහස පරණ එකක් බව ද, තමන් අතින් සිදුවී ඇත්තේ එය කාලයට ගැලපෙන අයුරින් සකස් කිරීම බව ද, තහනම් කරන්නේ නම් මුලින්ම තහනම් කළයුත්තේ පචතන්ත්‍රය බව ද, යනුවෙන් පරීක්ෂණ යේ දී එරත්න මහතාගෙන්  විමසන විට පවසන ලෙස යක්කඩුවේ හිමියන් ඒ මහතාට උපදෙස් දුන් බවද හිමිපාණෝ පවසති. එම කවිය වනකතාවේ දක්වා ඇත්තේ මෙසේය.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් මහ ඇමතිකම එක දවසක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[4]

පැවැත් වූ පරීක්ෂණයෙන් එරත්න මහතා අසමත්විය. මහාචාර්ය දෙපොළ නිදහස් ආයතනයකට අයත් බැවින් පරීක්ෂණයකට ලක්නොවූ බව හිමිපාණෝ පවසති.
එරත්න මහතා අනුරාධපුරය මධ්‍යමහා විද්‍යාලයට මාරු කර යවා වනකතා පොත ද තහනම් කෘතියක් බවට පත්ව එතෙක් පළවී ඇති පිටපත්  එකතු කර ගිනිතැබූ බව ද ප්‍රකටය.

යක්කඩුවේ හාමුදුරුවන් මෙය පවසන්නෙ පහත උපුටනය පරිදි  දැඩි උපහාසාත්මක වැකිවලිනි.

“ඒ මහතා( ඊ.ආර්. එරත්න මහතා) ලවා අටමස්ථානය වන්දවා තමන්ට ස්වර්ග උප්පත්තිය අත්කරවා ගන්නට දෝ අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට මාරු කළේය..........වනකතාවත් තහනම්විය. දෙවෙනි පොතේ තිබුණ ඒ කවිය නිසා පළවෙනි පොතත් වනකතා නමමත් තහනම් විය................ සපයාගත හැකිව තිබුණු සියලු පොත් රැස්කරවා ගිනිබත්ද කළහ.“[5]

මේ පොත හඳුන්වමින් ලියාගෙන යාම  මෙතෙකින් නිමවේ.  රු300 කට මිල නියම කර ඇති මෙය දැන් පොත්සාප්පු වලින් ලබාගත හැකිව පවතී.




[1] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව-යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[2] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[3] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[4] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xvii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[5] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010

Tuesday, February 17, 2015

බලෙන් පැට වූ උපදේශය

සිද්ද වෙන සේවයක් නෑ.

සිංහලෙන් බ්ලොග් ලියන එවුවන්ගෙන් සිද්ද වෙන මහ ලොකු සේවයක් නෑ.  හැම එකේම ව‍ගේ අපේ සිංහල භාෂාව මරණවා. අක්ෂර වින්‍යාසය විතරක් නෙමෙයි. වචනත් විකෘති කරනවා. ලියන්නෙ "ගමේ ‍ ගොඩේ, පේමන්ට් එකේ කතාකරන" භාෂාව.   ඒව නොකියවන එක හොඳයි තේරුනා නේද ?”. මගේ උපදේශකයා  අවධාරණය කළේ භාෂාවට සිදුවෙන හානිය ගැනයමං වගේ ඇටිකිච්චන් කෙල්ලෙක් මොනව 
කරන්න ද ! බලෙන් පැටවූ උපදේශය ගැන මට තිබු‍ණෙ  විශාල සැකයක්. ඒක නැතිවුනේම නෑ.
මම කියන දේ අනෙකාට තේරෙනව නං ඊට වඩා තියන ව්‍යාකරණය මොකද්ද ! ලියන්න විතරක් පොදුවේ පාවිච්චි වෙන්නැති නැති භාෂාවක් යොදාගන්නෙ ඇයි ? ඔය මට තිබ්බ ගැටළුව. මම පණ්ඩිතයෙක් නෙමෙයි හින්ද ඒ බුම්මගෙන ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඔය අතරෙදි තමයි ආතගෙන් අමුතු පොතක් ලැබුණෙ. ඒ වනකතාව. ඒක කියවද්දි තමයි  යක්කඩුවෙ ප්‍රඥාරාම නම් වූ මහ වියතා හමු වුනේ.  මොනතරම් වාසනවක්ද ?  
පණ ඇති හෙවත් ජීව භාෂාව ගැන වනකතා ගැන කතායනුවෙන් ලියන හැඳින්වීමෙදි කදිම විස්තර තියනවා. ඒ අතරින්  උපුටාගත් කොටස් කීපයකි මේ. (ලිපිය දිග වැඩිවීම වලක්වා ගන්නයි මේ විදිහට කෑලි කෑලි ගත්තෙ).
“............... අමුතු මෝස්තරයක, අලුත් තාලයක පොතකි. පොත ලිවීමේ දි මා තුළ බලපැවැත් වූ ප්‍රධානම ප්‍රතිපත්තිය නම්: සිංහල භාසාවෙන් ලියන මේ පොත, සිංහල රටේ සිංහල මිනිසුන්ට සිංහල පොතක් කියවන්නට පුළුවන් කාටවුවත් කරුණු කොයිතරම් ගැඹුරු වුවද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි............‘ශක්ති‘ ,‘ආශා‘ යන සංස්කෘත වචන දෙක වෙනුවට සිංහල උගතුන් ලියමනේදි පාවිච්චි කරන්නේ ‘ශක්තිය‘, ‘ආශාව‘ යන වචන දෙකයි. ........ඕනෑම සිංහලයකුගේ උසස්ම පණ්ඩිතයකුගේ වුවත්, සිංහල කටකින් නම් මේ වචන දෙක පිටවන්නේ ‘සක්තිය‘  ‘ආසාව‘ යනාදී තාලව්‍ය නොවන ස්වරූපයකිනි. එසේ නම් ලිවීමටත් ඒ සිංහල විලාසයක්ම පාවිච්චි කළොත් කවර වරදක්, කවර අපරාදයක් සිදුවිය හැකිද?............... සිංහල භාසාව පාළි, සංස්කෘත ආදී භාසා මෙන් මළ භාසාවක් ග්‍රන්ථ භාසාවක් නොව, හින්දි ආදී භාසා මෙන් ජීව භාසාවක් ව්‍යවහාර කරන භාසාවක් බව කවුරුත් එක සේම පිළිගනිති. නමුත් අනේ අපොයි අපේ කරුමයක හැටි ! කාගේ කවර වරදක්ද? ! මොන පවක්ද ! කවර කරුමයක්ද! අපේ භාසාව නමින් කෙසෙ වෙතත් ඇත්ත වසයෙන් නම් මැරිලාය. ‘ජීව භාසාවකැ‘ යි කියමනට කියතත්, නිකමට නම්බුවට පිළිගනිතත්, ඒක නම් ජීව භාසාවක් නොවෙයි. මළ භාසාවකි. ජීව භාසාවක් නම් එහි ජීවයක් තිබිය යුතු නේද!
.................. කරුණාකර ටිකක් සිහිය මෙහෙයා බැලිය යුතුයි. අද ලියන සිංහල පොතකත්, එදා අර, පරණ දඹදෙනි අවදියේ දී ලියන ලද සිංහල පොතකත්, භාසාව අතින් ඇති වෙනස කුමක්ද? හැබැයි කතා කරන භාසාවේ නම් වෙනස් වීම, වැඩීම, දියුණව,ප්‍රාණවත් ගතිය පැහැදිලිවම පෙනෙන්ට තිබේ. ............අපේ උසස් උගත් පන්තියේ පණ්ඩිතයන්ගේ පිළිගැනීම “ඒක නිකම්ම නිකම් ගම්මැදි බාසාවක්“ කියාය. නියම සිංහල භාසාවට පොතපතකට තබා කබල් ලියුම් කැබැල්ලකටවත් කිට්ටු වේගන්ට අවසරයක් ලැබී තිබේද !
................අනේ දෙවියනි, මට තියා මගේ ගුරුන්නාන්සේටවත් නෙතේරෙන සිංහලයකුත් අපේ ඇතැම් සිංහල උගතුන් අතර භාවිත වෙයි........ග්‍රන්ථ භාසාවය, කාවිය භාසාවය, ව්‍යවහාර භාසාවය,නෙතේරෙන භාසාවය, යනාදීන් එකම භාසාවක් පිළිබදව නොයෙකුත් භෙද පැවතීම.......... භාසාවේ වැඩීමට දියුන්වට බාධාවක් බව නොකියාම බැරිය.
.............. අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකමං කතා කිරීමේ දී පවා ‘මම යනවා‘, ‘අපි යනවා‘ නොකියා ‘මා යනවා‘ , ‘අපයනවා‘ කියමින් තමන් කතා බහෙනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. .....ඉබේම කියවුනු ‘අපි‘ යන්න නැවත සකස් කොට ‘අප යනවා‘ කියමින් හොඳම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතාම ප්‍රකටය:, මට ද දැක පුරුදය.

.............නානා ව්‍යවහාර භාසාවලින්  විසාල ප්‍රචාරයක් ඇති ප්‍රධානම භාසාවක් නම් ඉංගිරිසියයි. ඉංගිරිසි මිනිස්සු මොනම නිථියකටවත්, මොනම ව්‍යාකරණයකටවත් නැති තමන්ගේ ඒ ගම්මැදි භාසාව ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගෙන...........ලියනවාද පමණක් නොව කථාද පවත්වති..... ‘අයි ගෝ , ‘යූ ගෝ‘  මේ හොඳම ව්‍යාකරණානුකූල ඉංගිරිසිය..... මෙහි ඇති ව්‍යාකරණය කුමක්ද! මෙහි ඇති භාසා රීතිය කුමක්ද! ‘ව්‍යාකරණානුකූලය‘ යි පිළිගැනීම පමණක් නොවේද! ............බැරිකම නිසා හම පමණක් ඉතිරි කරගෙන, හැකි හැම එකකින්ම ඉංගිරිසිය පස්සේම එලවන්ට දඟලන අපේ උගත් සිහංලයන් භාසාව ගැන පමණක් ඒ පස්සේ යන්ට කල්පනා නොකිරීම ඇයි දෙයියනේ! කොයිතරම් කරුමක්කාර කාලකන්නි කමක්ද!
“….පොහොසතා පමණක් නොවෙයි:, කොහොම දේකින් හෝ ඉහල අඩියකට ගිය කොයි සතාත් පාහෙ තරමකටවත් මහසතා වූ හැටියේම, පත පතා ඉන්නේ තමාගේ අගේ වැඩි කර ගැනුම පිණිස, ලොකු කම ආරක්සා කරගැනුම පිණිස අනික් අය සුළු තත්වයේ ම නවතා ගැනිම ගැනය.
-වනකතා පොතේ වනකතා ගැන කතා නම් ඡේදයේ  iv සිට x දක්වා පිටුවලින් උපුටාගන්නා ලදී

මෙහි මුල ඡේදයේ සටහන් කරන ලද පරිදි  එදා උපදේසකයා ඉදිරියේ බුම්මාගෙන වේදනා  විඳින්ට සිදු වූ හේතුව  මේ අන්තිමට උපුටා දැක් වූ කොටසේ යක්කඩුවේ හාමුදුරුවන් පවසන  බව මට ද සිතෙයි.