Monday, September 21, 2015

ආන්ත්‍රාවයි, පිරිමින්ට ආන්ත්‍රාවයි !

විෂයමාලාව ස්ත්‍රී ලිංගිකද ?

“ ඇත්තටම හැබෑ නේන්නම් !“ හදිස්සියේම මෙහම පුදුම හැඟීමක් පහළ වුනේ පහුගිය 17 වෙනිද BMICH එකේ දි  ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ගෙ ධර්මපාල අනුස්මරණ දේශනයෙ  "පිරිමි ළමයි අයාලෙ යන කාලෙ. ගෑණු ළමයි ඉගෙනීමට උත්සාහ කරන සමාජ වාතාවරණයක අපි ජීවත්වෙන්නෙ" යන කොටස ඇසුනාමයි.

එතැන් සිට මට පාසල මැවී පේන්න උනා. විශ්ව විද්‍යාලය පේන්න වුනා. මොකද්ද හැබෑට වෙලා තියෙන්නෙ. ? කොල්ලො ටිකක් හරි උවමනාවෙන් රැඳිල ඉන්නෙ 5 ට එනකං විතරයි.  6, 7, 8,පන්ති පහුවෙන  උන් කොට යකා නටනව. ක්‍රීඩා වක්වත් නොකරන අය කට්ටිපනින්න පටන් ගන්නව. ගුරුවරු වැඩිහිටියො එක්ක රන්ඩු අල්ලන්න වෙනවා. මෙතෙක්  ආධිපත්‍යය පතුරවා ගෙන හිටපු දෙමාපියො වැඩි දෙනෙක් මේ කාලෙදි තමන්ගේම කොල්ලන්ට බයයි. ගුරුවරුත් එහෙම ද කොහෙද ඇයි මේ ? 

9 පහු කරල 10 ට එද්දි ගුරුවරු බොහොම දෙනෙක් කොල්ලන්ට විහිළු සපයන්නො බවට පත්වෙනව. විවිධාකාර නම් පටබැඳගෙන විකාර කරමින් කෙල්ලො අතරෙ වීරයො වෙන්න තරග කරනවා. කෙල්ලො කොල්ලන්ට හිනා වෙනව තමයි. සමහරවිට අනුමත කරනවත් තමයි. ඒත් මේ සේරම අස්සෙ උන් ඉගෙන ගන්න මහන්සි වෙනව. ඔන්න ඕකයි පොදුවේ දකින්ඩ තියන තත්වය. ඇයි මෙහෙම උනේ ?

විෂයමාලාව ස්ත්‍රී ලිංගික නිසාද ? කොල්ලන් වැඩි දෙනකුට මේ උගන්නන විදිහවත්, උගන්නන දේවල් වත් අල්ලන් නැතුව යන්නෙ ඇයි ? 

O/L වලින් හුඟක් අය හැලී යනව. A/L වලින් තව ගොඩක් හැලෙනව. කැම්පස්යන්නෙ බොහොම ටිකයි. මං උසස් පෙළ විතරක් නෙවෙයි කැම්පස් ඉන්න කාලෙත් එහෙමයි.

හැලී ගිය එව්වන්ටයි, රැඳී හිටල ඉගෙන ගත්තු අයටයි කියල ඒ හැටි වෙනසක් නෑ.  සමහර විට හැලී ගිය එව්වො  ඉගෙන ගත්තු එව්වන්ට වඩා සාර්ථක වෙනව.
උන් සමහර අය තමෙන්ගෙ සහජ දස්කමක් දියුණු කරගෙන හරි සල්ලි හම්බ කරනවා.  රත්නපුරේ පැත්තෙනන් මැණික් ගරල නැත්නම් මැණික් විකුණලා හරි හොඳ සල්ලි කාරයො වෙනවා. තවත් ටිකක් කසිප්පු ජවාරමක් වගේ දෙයක් කරලා හරි සල්ලි හොයනවා. තවත් එකෙක් දෙන්නෙක් දේශපාලනයට යනවා. කොහොම හරි සල්ලි හොයනවා. බැලුවාම මුළු රටේම තත්ත්වෙ එහෙමයි.


පාසලෙත් විශ්ව විද්‍යාෙලයෙත් කෙල්ලො තමයි වැඩි. මේ අනුපතාය නැත්තේ පාර්ලිමේන්තුවෙ විතරයි. හිටපල්ලකො අපි එතනත් අල්ලනව. දැනගනියව්. knowledge is power ! 
එදාට "අපට සමතැන් දීපියවු" කියල උඹලටත් සටන් කරන්ඩ වෙයි. ඊට ඉස්සෙල්ල විෂයමාලාව උඹලටත් රටටත් වැඩක් වෙන විදිහට වෙනස් කරගන්න උද්ඝෝෂණය කරපල්ල.

37 comments:

  1. අපේ වයිපරේගේ අක්කගේ කොලුවා මතක් උනා.. ඌ පට්ට මීටරේ.. o/l නිකම්ම ඉඳල ගොඩගියා.. හැබැයි ඊට පස්සේ (සමහර විට ඊට කලිනුත් තියෙන්න ඇති..) ඔය ලෙඩේ හැදුනා.. මේ පර A/L කරා මත්ස් වලින්.. උ කියන විදියට සත 5ක විස්වාසයක් නෑලු. අයි කරන්න බෑ කියල මේ දවස් වල අම්මයි තාත්තයි එක්ක යුද්දේ.. IT මොකක්ද මගුලක් කරන්න ඕනිලු. මං කියුව කුණුහබ්බ අහන්නේ නැතුව මොනවා හරි කරලා බේසික් ඩිග්රි එකක් ගන්න කැම්පස් යවහල්ල කියල.. අනේ මන්දා මුන්ට මොනවා වෙලාද කියල.. සක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර ගරු වෘත්තීයේ සිටියේ ටික කාලයක් වුනත් ලැබිච්ච අත්දැකීම් පුංචි ඒව වුනේ නෑ. කොල්ලන්ට මේ ඈලි මෑලි වෙච්ච, වාඩිවෙලා විතරක් ඉන්න සිද්ද වෙන ඉගැන්නිල්ල දිරවන බවක් පේන්නෙ නෑ කියන එකයි මා පවසන්න උත්සාහ කළේ. කොහොම හරි පාසල් ක්‍රියාවලියෙ ගැටළුවක් තියන බව ඔබටත් පෙනි ගිහින් තියනවා නේද ? මගෙත් මල්ලි සම්බන්ධව ඔය ලෙඩේම තියනවා. බොහොම අමාරුවෙන් තමයි බේසික් ඩිග්‍රි එකට හරි තල්ලු කරන්න උත්සාහ ගන්නෙ

      Delete
  2. මේ කතාව නිකන් හිතලා කියන කතාවක් කියලයි මට තේරෙන්නේ (හිතළුවක්). කෙල්ලෝ කොල්ලන්ට සාපේක්ෂව විභාග පාස් වෙනවය, කොල්ලෝ පාස් වෙන ගාන ඊට වඩා අඩුය කියන එක සංසංදනය කරලා දත්ත ඉදිරිපත් කරල තිබ්බ නම් මේ ගැන කතා කරන්න තිබ්බ. නොමඟ යන සුළු අදහස්.

    පාර්ලිමෙන්තුවට කාන්තා නියෝජනය වැඩි වෙනව නම් හොඳයි. ඒත් ඒක අපේ ජීවිත කාලයෙදි දකින්න ලැබෙන එකක් නැහැ. මොකද එහෙම වෙන්න උවමනා සමාජ ආකල්පමය වෙනස අපේ ජීවිත කාලයේ දකින්න හම්බෙන්න එකක් නෑ.

    තව එකක්, කොල්ලන්ට සාපේක්ෂව කෙල්ලෝ නිර්මාණශීලී බවෙන් අඩුයි කියල මට හිතෙනවා මේ සයිබරය දැක්කම. විශේෂයෙන්ම බ්ලොග් අවකාශය. ඕකට හේතුව මොකක්ද කියන එක ඉතින් වෙනම කතාකරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හිතළුවක් උපකල්පනයක් තමයි විකේන්ද්‍රික ප්‍රනීත් අබේසුන්දර කිව්ව දේ සහ මට බැලූ බැල්මට පෙනුන තත්වය මත ඉඳලයි ඔය කතාව කිව්වෙ. හොඳට හොයා බලල ප්‍රතිකර්මයක් කරන්න ඕන බවක් නොපෙනෙනවා නම් ඒක පුදුමයක්. ඔයාල අධ්‍යාපනඥයො පවසන මේ කතාව අහල තියනවද බලන්න. “20 සියවසේ මුල් දශකයේ විතර මැරුණ කෙනෙක් හාස්කමකින් හරි නැවත පණ ලැබුවොත්; එයාට මුළු ලෝකයම පේන්නේ බොහොම අමුතු තැනක් විදිහට. ගෙවල් දොරවල් කෑම බීම ගමණා ගමනය සියල්ලම වෙනස්වෙලා. ඒත් එකම එක පුරුදු තැනක් විතරක් හමුවෙනවලු. ඒ තමයි පාසල.“ මේ කතාව පෙන්වා දෙන්නේ පාසල යල්පැන ගිය තත්ත්වයක පවතින බව නේද ? ඉහත රූපය බලන්නකො. පන්ති කාමරයත් ඒ පුරුණා විදිහමයි. ලුරුවරය කළු ලෑල්ලේ ලිය ලියා දේශනයක් පවත්වනව. ළමයි අහගෙන ඉන්නව. සටහන් දෙනව. උන් ඒව ලියාගන්නව. පස්සෙ කටපාඩම් කර ගන්නව. වචන ලෝකයක් විතරයි. මා පවසන්න උත්සාහ කළ දේ යන්තමට හෝ ඔබට සිතාගත හැකිවේවියයි හිතෙනවා.

      Delete
  3. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළුවන අය ගැන ඔබ කියන්නේ කොයි අංශය ගැනද?. ඔබේ සංඛ්‍යා ලේඛන හරිද? ඉංජිනේරු අංශයට වැඩිම යන්නතේ කාන්තාවන්ද?
    අන්තිම පැණය ඔබ ස්ත්‍රීවාදිනියක් ද?

    ReplyDelete
    Replies
    1. මා පවසන්නෙ පොදුවේ පෙනෙන තත්ත්වය ගැන නලීන් සංඛ්‍යාෙල්ඛන කිසිවක් ඉදිරිපත් කර නැහැ. ප්‍රනීත් අබේසුන්දරගේ වැකිය පදනම් කර ගනිමින් පාසල් තුළ බැලූ බැල්මට පෙනෙන ස්වභාවය නිවැරදි බව ඔබත් ගිහින් බැලුවොත් පෙනෙනවා ඇති. ඉංජිනේරු අංශයේ පිරිමි ආක්ර්ශනය වැඩි බවක් පෙනෙනවා ඇති. අන්න එතන මා පවසන්න උත්සාහ කළ මූලික කාරණයක් තියනවා කියලයි හිතෙන්නෙ. ඒ කියන්නේ කොල්ලන්ව ආකර්ශනය කරන ගතිය. පාසල් විෂයමාලාවෙ වරදක් ඇතුවා විය හැකි වුවද කොල්ලන්ගෙ අඩුපාඩුවක් පවසන්න ගත්තු උත්සාහයක් පෙනනවා නම්. ඒ මගේ පොස්ටුව නලින්ට තේරුම් ගිය ආකාරය විය හැකියි. මා ස්ත්‍රී වාදිනියක් ලෙස තවමත් සිතෙනවාද නලීන්.

      Delete
    2. නෑ.... සත්තකින්ම නෑ...

      Delete
    3. සාරිකා ස්ත්‍රීවාදිනියක් ලෙස මා නම් කිසිදිනක සිතා නැහැ. ඇය මැදහත්ව ප්‍රශ්න දෙස බලන්නියක්.

      Delete
    4. ඇගයීම ගැන මධ්‍යස්ථට ස්තුතියි. බොහෝ විටම අපේ ඇතුලාන්තයේ පවතින මතය හෝ අදහස ඒ අයුරින්ම වෙනත් කෙනකුට තේරුම් යන පරිද්දෙන් ලියන්නට හො කියන්නට හැකියාව ලැබෙන්නෙ කලාතුරකින්. මේ නිසාම අපේක්ෂා නෙකාළ දේවල් වෙනත් කෙනෙකුට තේරුම් යන්න ඉඩ තියනව. අඩුපාඩු පෙන්වා දෙන්නැයි ඉල්ලා ඇත්තෙ මගේ තියන ඒ දුබලතාව මා වටහා ගෙන ඇති නිසයි.

      Delete
  4. මට නම් ඒ වගේ දෙයක් පේන්න නෑ.. ඔය කොච්චර කට්ටි පැන්නත් කරන්න ඕන හැම අප්සට් වැඩක්ම කලත් හොදට ඉගෙන ගන්න මීටර් කොල්ලොත් ඉන්න බව අමතක කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඉන්නවා දිනේෂ් ඉන්නවා !. කෙල්ලො පන කඩාගන කරන දේ උන් බොහොම සැහැල්ලුවෙන් කරනවා.!! කොල්ලන්ගේ වරදක් දකින පෝස්ටුවක් විදිහට පෙනී ගිහින් තියෙන්නෙ මගේ රචනාවේ දෝෂයක් නිසා විය හැකියි. මා පවසන්න උත්සාහ කළේ පාසල කොල්ලන්ට ආකර්ශනීය තැනක් බවට පත්වෙන විදිහට. එතන යුගයට ගැලපෙන විදිහට සහ කොලු අවශ්‍යතාවලට ගැලපෙන විදිහටත් වෙනසකට භාජනය විය යුතු බවයි

      Delete
  5. විෂයමාලාව ස්ත්‍රී ලිංගික වී නැත. එහෙත් සමාජය (ස්ත්‍රී පක්‍ෂය පවා) දැඩි ලෙස පුරුෂකරණය වෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නට ප්‍රධාන හේතුවක් විෂයමාලාව විය හැකියි නේද කණිෂ්ක

      Delete
    2. මා සිතන අන්දමට නම් මීට හේතුව විධිමත් අධ්‍යාපනය නොව අවිධිමත් අධ්‍යාපනයයි. විශේෂයෙන් ජනමාධ්‍ය, ජනමාධ්‍ය විසින් පොරත්වයට නංවන ලද පුද්ගලයින්, චිත්‍රපට-කාටූන්, පමණක් නොව අපේ ගුරුවරුන්ගේ (විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගුරුවරුන්) සහ පූජ්‍ය-පූජක දෙපක්ෂයත් සමාජය තුලට විසරණය කරන අදහස් මේ තත්වයට බලපායි. අද ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන කාටුන් වල වීරවරියන් ගෑණු ද? ජංගියක් සහ තනපටයක් විශාල බූට් පැළඳගත් තමාට වඩා විශාල කඩුවක් හසුරුවන "අහවල් එක විතරක් අඩු" පිරිමින් ලෙස 'අපට' පෙනෙන චරිත ළදරු වියේ ළමා මනස දූෂ්‍ය කරන්නේ නැද්ද ?

      ඊනියා මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් සංවිධාන, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගැන කිඹුල් කඳුළු හෙළන නොරාජ්‍ය සංවිධාන මේවායේ වැඩ කරන්නේ ගෑණු ද ? අහවල් එක විතරක් අඩු පිරිමිද ? ගෑණු ක්‍රම-ක්‍රමයෙන් පිරිමි බවට පත් කෙරෙන සමාජ බලවේග හමුවේ පිරිමියා පිරිමිකමේ සදාචාර සීමාව ඉක්මවා යමින් සිටීම අහඹුවක් නම් නොවේ. මේ පවත්නා ක්‍රම පරිණාමයේ තර්කානුකුල ප්‍රතිඵලයයි.

      ගැහැණු දරුවා ඉගෙනීමට වඩවඩාත් යොමු වන්නේ ඈ පිරිමියෙකු ලෙස පවුලේ බර කරට ගැනීමට අවිඥානිකව සැරසෙන නිසාත්, පිරිමි දරුවා ඉගෙනීමෙන් ඈත් වන්නේ ඔහු පිරිමිකමේ යුතුකම් සහ වගකීම් වලින් ඈත් වෙමින් සිටින නිසාත් බව මම ඔබට යෝජනා කරමි. එහෙත් එක් තැනකදී එකිනෙකා පරයා යෑමේ අවශ්‍යතාව ඉස්මතු වේ. පසුබසිමින් සිටි පිරිමි දරුවන්, විශේෂයෙන් විශ්ව විද්‍යාල ජීවිතයේදී, එක් වරම නැම්මක් ගෙන අධ්‍යාපනය සාර්ථක කර ගන්නේ එහෙයිණි. මේ අයගේ පසුකාලීන ජිවිත විභාග වලටම ගෙවී යන බවද නිරීක්‍ෂණය කළ හැක.

      Delete
    3. අවිධිමත් අධ්‍යාපනය තුලින් සම්ප්‍රේෂණ වන ආකල්ප විනාශවී යාමේ තත්ත්වය සම්බන්ධව මාත් එකඟයි. ඒ දුබලතාව ඒ අනිටු විපාක මග හරවා ගැනීම පිණිස මා නැවතත් පැමිණෙන්නේ දැනට ක්‍රියාත්මක වන විෂයමාලාව තුළ විප්ලවීය වෙනස් කිරීමක් අවශ්‍ය බව පෙන්වා දීමටයි .

      Delete
    4. විධිමත් අධ්‍යාපනය අවිධිමත් අධ්‍යාපනය විසින් කෙරෙන මනස් සේදීමට කිසිසේත්ම විකල්පයක් නොවේ. කළ යුත්තේ (කළ හැක්කේ) විධිමත් අධ්‍යාපනය තුලට අවිධිමත් ලෙස මේ කරුණු ඇතුලත් කිරීමයි.

      උදාහරණයක් දෙමි.
      අප තවමත් රහමෙර කටේ නොතියන්නේ සමාජ ආශ්‍රයෙන් එහි ආදීනව දන්නා නිසා මිස මත්පැන් සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යමතය වීම නිසා හෝ ගුරුවරුන් විසින් එය වැරදි බව කියා දී ඇති නිසා හෝ නොවේ.
      (දැන් - කටේ නොතියා උගුරට දා ගන්නවා නේද කියා නම් කිසිවෙක් විසින් නොකියවෙත්වා !)


      එහෙත් 'විධිමත් අධ්‍යාපනය තුලට අවිධිමත් ලෙස මේ කරුණු ඇතුලත් කිරීම' එය කියන තරම් පහසු කරුණක් නොවන්නේ අද සිටින ගුරුවරුන්ද මේ ආකල්ප වලම ගොදුරු බවට පත් වී සිටින බැවිණි. තමන් වලේ සිට අන් අය ගොඩ දැමීම බොහෝ අපහසුය.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කණිෂ්ක හරි . මම පවසන්න උත්සාහ කළ දේ ඔබ වඩා තේරුම් යන විදිහට උදාහරණයකුත් එක්කම තේරුම් කරනව.

      Delete
    7. "අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල"

      ඔබ තුමිය මෙය කියවන්නට ඇත'ය කියා සිතමි. ඊට දැමූ ප්‍රතිචාර වලින් මා කියන "අවිධිමත් අධ්‍යාපනය" සහ ඒ ඔස්සේ කෙරෙන අදහස් විසරණය පිළිබඳ දළ අදහසක් ලැබිය හැකියි. මා සිතන්නේ මේ ඔබේ මීළඟ ලිපියට සුදුසු ප්‍රස්තුතයක්.

      මේ ඒ ප්‍රතිචාර:

      1. මේක මටත් පිස්සුවක් වගේ.... මගේ තාත්තා මට කියලා .තිබුනේ එයාට වදින්න එපා කියලා. තාත්තටවත් වදින්න පුරුදු නොවී ආත්ම විශ්වාසය ඇති කරගන්න තමයි තාත්තා මට කියලා දුන්නේ. අද වෙනතුරු මම තාත්තටවත් අම්මටවත් වැදල නැහැ. ඒත් ඒ දෙන්නා ගැන මගේ හිතේ තියෙන ආදරය වෙනස් වෙලා නැහැ. --- KAS

      2. මේලෝකේ තියෙන කිසිම දෙයකට, කෙනෙක්ට වඳින්නේ නෑ. කාගෙන්වත් වැඳුම් ලබන්න කිසිම උවමනාවකුත් නෑ. --- විකේන්ද්‍රික

      3. මේ වැන්දවිල්ල දීනයන් තැනීමේ ක්‍රියාදාමයේ ආරම්භයයි . ඔබ සමග එකගයි. --- Naleen Dilruksha

      4. මම බාර් එකකට ගියා යාළුවෙක් එක්ක මත්පැන් බොන්න. මගෙ පරණ ශිෂ්‍යයෙක් එහා මේසෙ ඉඳලා ඇවිත් වැන්දෙ නැතෑ බිම බඩගාගෙන. --- P. M Rambanda

      Delete
    8. කාගේත් මනා අවධානයට යොමු විය යුතු ඒ ලිපිය මාත් බැලුවා කණිෂ්ක. ඔබ ග්‍රහණය කර ඇති දේවල් සහ පවසන විස්තර ඉතාම වැදගත්

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. මෙය බලා ඔබේ අදහස දක්වන්නේ නම් මැනවි:

      http://katha32.blogspot.com/2015/09/two-characters.html?showComment=1444411273578#c8721632853834856962

      Delete
  6. ප්‍රශ්නය හරි. උත්තරය - අඤ්ඤකොරොස් ...?

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රශන්යද මොන උත්තරයද පැහැදිලිව කියන්න ඩ්‍රැකී

      Delete
    2. ප්‍රශ්නය - කොල්ලො කැළේ පනිනවා - කෙල්ලො ඉගෙනගන්නවා
      උත්තරය ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. තේරුනා ඩ්‍රැකී. හොඳටම තේරුනා. උත්තරය ? නිවැරදිම උත්තරය ! සොයා ගන්න එක පහසු නෑ. ඒත් එ්කමයි මූලික අවශ්‍යතාව.

      Delete
  7. ඔබ කියනා දේ ඇත්තටම පේන්න තියෙන දේ මතුපිටින්.. ඇතුලාන්තයක් ගැන කීවත් වැඩි වෙනසක් නෑ.. හුගක් ගුරුවරු කොල්ලන්ව නොසලකා හරිනව උං බුලක් දෙකක් ගැහුව ගමං.. හංවඩු වදිනව කෙල්ලොන්ට පණ ඇරල උගන්නයි කොල්ලන්නෙ පළු අරියි... ඒක තමා වෙන්නෙ
    වැඩේ කියන්නෙ අර පණ දීගෙන උගන්නපු කෙල්ලො ඔක්කම රජයේ ජොබ්ම ඇරං නිකං ඉන්නෙක කොල්ලො ඔව් උංට දැනුමක් ැතිව ඇති අජ්ජාපනේ ඒත් උං ගොඩ යනව අඩු ගාණෙ මොනම හරි ජිල්මාට් එකක් දානව
    බ්ලා බ්ලා බ්ලා තමා ඉතිං

    ReplyDelete
    Replies
    1. ඒක නේ මහේෂ් කොහේ හරි බරපතල් ගැටළුවක් තියන බව පෙනෙනවා නේද ?

      Delete
  8. කියවලානමි බැලුවා.ආයෙත් එන්න බිලොග් රෝලටත් දාගත්තා.පරන ලිපි වලට යන්න විදියක් නැ නේද ?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ස්තුතියි මනෝ මන්දිර ඔබේ අගනා ලිපි මගින් ගෙන එන දුර්ලභ තොරතුරු මහත් ආශාවෙන් කියවමින් සිටිනවා. මා ලියා ඇති පරණ ලිපිවල ශීර්ෂපාඨ ලෙසින් අදාල ලින්කු දකුණු පස තීරයේ තිබෙනවා

    ReplyDelete
  11. ස්ත්‍රීවාද ටෝක් ඒකක් නෙවැ.........

    ReplyDelete
  12. බැලූ බැල්මට ඔබ පවසන වාදය කරපින්නා ගෙන උදන් ඇනිමක් වගේ පෙනෙනවා තමයි. කරුටු තව ගැඹුරින් ඔය ලිපිය නැවතත් කියවා බලන්නැයි ඉල්ලනවා. කණිෂ්කගේ කොමෙන්ටු තුළ මා පවසන දේම වෙනත් ආකාරයකින් විස්තර කෙරෙනවා.ඒවාද ඔබේ අවධානයට යොමු කරමි. "විෂයමාලාව" යන පදය සහ "විෂය නිර්දේශය" යන පදයන් එකිනෙක සමාන පද ලෙස මෙහි දී සලකා නැහැ. විෂය මාලාව යනු ඊට වඩා බෙහෙවින් ගැඹුරු සංකල්පයක්. “විෂය නිර්දේශය වෙනස් කරනවා“ යනුවෙන් ඔය වරින් වර ක්‍රියාත්මක කරන එක වගේ පහසුවෙන් සරළ ලෙස විෂයමාලාව වෙනස් කිරීමක් කරන්න බෑ. කුරුටු අවාට ගොඩක් ස්තුතියි කුරුටු කියන්නේ බුද්ධිමත් තරුණ සමූහයක්ම නේ. ඒ නිසා සියලු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  13. අධ්‍යාපනය සම්බන්ධ විවාදයක් වගේම සංවාදයක් ! මේ සම්බන්ධ අවදියෙන් සිටීම අනාගතය යහපත් වන බවට පෙරනිමිත්තක් !! ජනතාව අතරට වගේම මහබලවතුන් අතරටත් මේ සංවාදය ව්‍යාප්ත වෙනව නම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබේ උදව් වීමත් මහත් සෙතක් ශාන්තියක් සලසාවි

      Delete