Thursday, February 19, 2015

පොතේ දසාව නරක්වූ හැටි

වනකතාව තහනම් වීමේ හේතුව

මේ ලිපිය පොත පිච්චුව කවියක් , ලියන බසේ පෙරළිය  සහ  බලෙන් පැට වූ උපදේශය ට පසුව ලියවෙන  ලිපිය බව සලකන්න. හොඳින් තේරුම් ගැනීම පිණිස එම ලිපි තුන පලමුව කියවීම වඩා ප්‍රයෝජනවත් වෙයි. 


පඤ්චතන්ත්‍රයේ එක්තරා  ශ්ලෝකයක් නොතිබුණා නම් යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතාව පොතටත්,  එවක පැවති  ජ්‍යෙෂ්ඨ විභාගයට එය සුදුසු යයි අනුමත කළ කමිටුවටත් යහතින් ඉන්නට හැකිව තිබිණි.
එකල මෙකල මෙන් පාසල් සඳහා පොත් ලියන මණ්ඩලයක් නොවීය. ඒ වෙනුවට  විවිධ ලේඛකයන් හා විද්වතුන් විසින් ලියනු ලබන පොත් අතරින් පාසලට සුදුසු පෙළ පොත් මොනවාදැයි සොයා බලා
අනුමත කරන පිළිගත් විද්වතුන්ගෙන් සැදි කමිටු පිහිටුවා තිබූ බව පෙනේ. මේ අවදියේ සිංහල භාෂාව සඳහා වූ  කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය (සිංහල පිළිබඳ මහාචාර්ය) මහාචාර්ය ගුණපාල මලලසේකර(එවකට පාලි මහාචාර්ය) සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුර ලබා සිටි ඊ.ආර්. එරත්න මහතා යන අය වෙති.


ඔවහු වනතකතා පොත ජ්‍යෙෂ්ඨ විභාගයට සුදුසු බවට ඒකමතිකව සම්මත
කර ඇත. මේ ඒ සමගම ඇති වූ තත්වය යක්කඩුවේ හිමියන් පෙන්වන්නේ පහත උපුටනයේ දැක්වෙන ආකාරයෙනි.
“........එපමණකි.දසාව නරක්විය. විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්මට කැමැත්තක් නැතුව සිටි ඇමැත්තන්ලා, මහ ඇමැත්තයාගේ ද නියමයෙන්
ඔවුන්ගේ ඇබිත්තයන්ද සහාය කරගනෙ, වනකතාවේ අකුරක් තියා, එහි යොදා තිබුණු ඉරක්වත් තේරුම්ගත නොහැකි ඩිරැක්ටර් තුමාගේ මාර්ගයෙන් එය තහනම් කළහ“.[1]

මහ ඇමතිතුමා අපහසුවට පත්වන බව නිගමනයක් ගෙන මේ පොතේ තහනමට හේතුව වී ඇත්තේ පහතින් දක්වා ඇති ශ්ලෝකයේ පරිවර්තනයයි. ඒ මෙසේය.

නරකාය මතිස්තේ චෙත් පෞරොහිත්‍යං සමාචර
වර්ෂං යාවත් කිමන්‍යෙන මඨචින්තාං දිනත්‍රයම් [2]

යන්නය. එය පඤ්චතන්ත්‍රයේ එන ශ්ලෝකයකි. එය එලෙසම කවියක් බවට පත්කරන විට පහත ආකාර ගන්නා බව හිමියෝ පවසති.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් පුරෝහිත කම අවුරුද්දක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[3]

පඤ්චතන්ත්‍රය වර්තමානයේ ලියවුනක් නොවන බැවින්  ඒ අදහස පරණ එකක් බව ද, තමන් අතින් සිදුවී ඇත්තේ එය කාලයට ගැලපෙන අයුරින් සකස් කිරීම බව ද, තහනම් කරන්නේ නම් මුලින්ම තහනම් කළයුත්තේ පචතන්ත්‍රය බව ද, යනුවෙන් පරීක්ෂණ යේ දී එරත්න මහතාගෙන්  විමසන විට පවසන ලෙස යක්කඩුවේ හිමියන් ඒ මහතාට උපදෙස් දුන් බවද හිමිපාණෝ පවසති. එම කවිය වනකතාවේ දක්වා ඇත්තේ මෙසේය.

අපායට යන්ට ඕනෑනම් නුඹ
කරපන් මහ ඇමතිකම එක දවසක
නැත්නම් පන්සලක දේවාලයක සි
අදිපතිකම කරපන් තුන්දවසක
[4]

පැවැත් වූ පරීක්ෂණයෙන් එරත්න මහතා අසමත්විය. මහාචාර්ය දෙපොළ නිදහස් ආයතනයකට අයත් බැවින් පරීක්ෂණයකට ලක්නොවූ බව හිමිපාණෝ පවසති.
එරත්න මහතා අනුරාධපුරය මධ්‍යමහා විද්‍යාලයට මාරු කර යවා වනකතා පොත ද තහනම් කෘතියක් බවට පත්ව එතෙක් පළවී ඇති පිටපත්  එකතු කර ගිනිතැබූ බව ද ප්‍රකටය.

යක්කඩුවේ හාමුදුරුවන් මෙය පවසන්නෙ පහත උපුටනය පරිදි  දැඩි උපහාසාත්මක වැකිවලිනි.

“ඒ මහතා( ඊ.ආර්. එරත්න මහතා) ලවා අටමස්ථානය වන්දවා තමන්ට ස්වර්ග උප්පත්තිය අත්කරවා ගන්නට දෝ අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට මාරු කළේය..........වනකතාවත් තහනම්විය. දෙවෙනි පොතේ තිබුණ ඒ කවිය නිසා පළවෙනි පොතත් වනකතා නමමත් තහනම් විය................ සපයාගත හැකිව තිබුණු සියලු පොත් රැස්කරවා ගිනිබත්ද කළහ.“[5]

මේ පොත හඳුන්වමින් ලියාගෙන යාම  මෙතෙකින් නිමවේ.  රු300 කට මිල නියම කර ඇති මෙය දැන් පොත්සාප්පු වලින් ලබාගත හැකිව පවතී.




[1] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව-යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[2] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xviii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[3] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[4] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xvii පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010
[5] වනකතා- තහනම් කතා පරිච්ඡේදය xix පිටුව- යක්කඩුවේ ප්‍රඥාරාම-විද්‍යාලංකාර ප්‍රකාශනය 2010

8 comments:

  1. මේක නම් අනිවා අරන් කියවන්ඩ ඕනේ.....
    සුපිරි....

    ReplyDelete
  2. මේ වනකා අංක 1 විතරයි සොයාගන්න ලෑබි තියෙන්නෙ අංක 2 පොත් සියල්ල ගින්නේ විනාශ වී ඇති බව අද දැනගන්න ලැබුණා. කිසියම් කෙනෙකු ළඟ දෙවන පොත් පිටපතක් තිබේ නම් එය විද්‍යාලංකාරයට භාර දී හෝ වෙනත් ක්‍රමයකින් හෝ නැවත මුද්‍රණයකට ඉඩ සලසා දීම මහඟු පිනක් වේවි රූපේ. ඔබේ පැමිණිම ගැන ස්තුතියි.

    ReplyDelete
  3. ඉහත කොමෙන්ටුව An interesting note සේ නිවැරදි විය යුතුයි

    ReplyDelete
  4. හරිම වටින තොරතුරක්. බෙදා ගත්තාට ස්තුතියි.

    ReplyDelete
  5. ස්තුතියි ! අපේ මධ්‍යස්ථ මත ධාරියාට එයින් මාව දිරිගැන්වුනා

    ReplyDelete
  6. සාරිකා........... අදයි මේ පැත්තට අාවේ... කොහොම හරි අද අාවානේ.. දැන් ඉතින් දිගට ම ඒනවා....

    අපි කමෙන්ටුවක් දැම්මාම.. ඒතැන යට තියෙන රිප්ලයි කියන ඒකට ගිහින් ඔබ රිප්ලයි කරන්න.. ඒතකොට සංවාදයන්ට පහසුයි.....

    ReplyDelete
    Replies
    1. හොඳයි කුරුටු ගෑ ගී පුවරේ සොයුරු සමූහයක්ම ඉන්නවා. . කොච්චර සුන්දර එකතුවක්ද මම කුරටු ලිපි ගොඩක් දිනක සිට කියෙව්වා. මෙහෙම අකුරු කොටන්න ඉගෙන ගන්න තුරු කොමෙන්ට දාන්න තේරුනේ නෑ ! ඒකත් හරියටම තේරුම් ගත්තේ දැනුයි වගේ.

      Delete